යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Monday, February 11, 2019

නිදහස ලැබුනාද ? - 2018.පෙබරවාරී 11


නිදහසින් වසර 71 ක් පිරී ඇත. විකල්පය පිලිබදව සමාජයක් කතාකරන මොහොතේ එවැනි විකල්පයක් කතා කරන්නට සොයන්නට අපට සිදුවුයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුතුය. දේශපාලන චතුරාර්ය සත්‍ය අවශ්‍ය වන්නේ මේ ගැටලුව විසදාගැනීමටය.

ඉන් පළමුවැන්න නම් අප විදින දුකයි. මේ දුක ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නොවන්නේ මෙය කියවන පාඨකයා ඇති තරම් මේ රටේ හැමදාම හැම මොහොතකම ඒ දුක විදිමින් තියෙන නිසාය. 

දෙවැන්න නම් දුකට හේතුවයි. එය මේ ලිපිය තුලින් පෙන්වා දෙන්නට උත්සහ කරන වැදගත්ම කරුණයි. හේතුවක් නැතුව ඵලයක් නැති බව වැඩි දෙනෙක් අදහන සමාජයක් එම හේතුව විමසා නොසිටීම පුදුමයකි. ඇත්ත කරුණ නම් එම හේතුව විසින්ම ජනතාවට වෙනත් හේතු පෙන්වා භය කර තිබිමයි. 

1948 නිදහස ලැබීම දක්වා අපට ගමන් කරන්නට සිදුවෙයි. වසර 71 ක දේශපාලන අසාර්ථකභාවය කතාකරන අපි 1948 න් පටන් නොගැනීම බලවත් වරදකි. 1948 දී ආක්‍රමණික ඉංග්‍රිසී ජාතිකයින් විසින් අපට නිදහස දුන්නා නොව ඔවුන්ගේ සුවච කීකරු ගෝලබාලයන්ට බලය මාරුකරන ලදී. අප කවුරුත් දන්නා පරිදි 48දී අපට ලැබුනේ සම්පූර්ණ නිදහසක් නොවේ. අපට සම්පූර්ණ ( සමාජය හිතන පරිදි සහ නීති පොත්වල සදහන් පරිදි ) නිදහස ලැබුනේ 1972 දීය. ඒ විදිහට ගත්තත් පෙබරවාරී 4 සමරන නිදහසද න්‍යායාත්මකව පවා වැරදිය. වසර 71 ක් තිස්සේ ජාතිය ගොනාට අන්දවා සිංහයා ලෙළදුන්නේ එලෙසය. 

බලය ගත්තේ කවුරුද? 

1815 දී සටන් කර අප පැරදුනෙමු. වීර දේශප්‍රේමි සටන්කරුවන් පවුල් පිටින් ඝාතනය විය. 1818 දීත් 1848 දීත් වූයේ එලෙසමය. නමුත් ඉංග්‍රිසින්ගෙන් තනතුරු, වරප්‍රසාද මෙන්ම ස්වදේශික දේශප්‍රේමී සටන් කාමීන්ගෙන් ආක්‍රමණිකයා අල්ලාගත් ඉඩම්ද ලබාගත්, පාවා දෙන්නන්ගේ ප්‍රභූ පැලැන්තියක් රට තුළ නිර්මාණය විය. ආක්‍රමණිකයා මෙන් සිතන ඔවුන් මෙන් අදින පළදින, ඔවුන් වෙනුවෙන් සේවය කළ මේ පිරිසට බලය මාරු වීම මිස අපට ලැබුන නිදහසක් නැත. ඉංග්‍රිසි ආක්‍රමිනිකයාට විරුද්ධව සටන් කල ස්වදේශික දේශප්‍රේමී සටන්කරුවන්ට බලය ලැබුනේ නැත.

නිදහස් රටක සිදු විය යුතු දේ. 

අපගේ ඉතිහාසගත රණවිරුවන් කැරලිකරුවන් ලෙස සදහන් කෙරුන ගැසට් නිවේදන මගින් ඉතිහාසය විසින් ඔවුන්ට බලවත් අසාදාරණයක් කර තිබිණ. නිදහසින් පසු දිනයේදී ඔවුන් කැරලිකරුවන් ලෙස තිබු නම් කිරීමෙන් මුදවා, දේශප්‍රේමී විරුවන් ලෙස නම් කරන්නට වූයේ නම් වඩාත් උචිතය. නමුත් ආක්‍රමිණිකයාගේ ගෝලබාලයන් පිරිසට වසර 169ක් යනතුරු එය කරන්නට අමතකව තිබිණ. එහෙම කරන්නට තරම් දේශප්‍රේමිත්වයක් ස්වදේශික හැගීමක් ඔවුන්ට නොතිබිණ. 

එමෙන්ම ආක්‍රමණිකයා විසින් ඔවුන්ට එරෙහිවීම නිසා දේශප්‍රේමී සටන්කරුවන්ගේ පවුල්වලින් උදුරාගත් ඉඩම් ටිකවත් ඔවුන්ගේ ඊළග පරම්පරාවට සොයා බලා බෙදා දුන්නේ නම් ඉතා වැදගත් වේ. ඌව වෙල්ලස්ස ඇතුලු ආක්‍රමිණිකයා විනාශ කල වැව් අමුණු ටික ඉක්මනින් පිළිසකර කර නැවත අස්වද්දන්නට පටන් ගැනීමද නිසියාකාරව නොවුණි. සැබෑ දේශප්‍රේමීන් අතරට බලය හුවමාරූ වූයේ නම් මේ සියල්ල සිදු වීමට ඉඩ තිබුණි.

ඉංග්‍රිසී ආක්‍රමිණිකායාගේ පැමිණිමත් සමග අභාවයට ගිය දේශීය අධ්‍යාපනය, දේශිය වෙදකම, සංස්කෘතික උරුමයන්, අංගම්පොර වැනි සටන් කලාවන් මෙන්ම හැතැම්මට අගලේ බැස්ම හැදු දේශීය තාක්ෂණයද නැවත සොයා ගන්නට පර්යේෂණ සමීක්ෂණ කළ යුතුව තිබිණ. නමුදු මේ මොහොත වන තුරුත් මේ කරුණු සිදුවන්නේ ඉතාම සෙමින්ය. සමහරක දේවල් සදහා එවැන්නක් නොවන තරම්ය. දේශීය තාක්ෂණයත් ලෝකයේ දියුනුවෙමින් තිබෙන තාකෂණයත් එකතුකර අළුත් ගමනක් යන්නට අපට හැකියාව තිබුනත් එසේ නොවුණි. 

අපට වෙච්ච දේ 

අපගේ ප්‍රධානම දේ වූයේ ලෝකෙටම ණය වී එදාවේල රැක ගැනීමයි. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ කිසිම විෂයකට අදාල ජාතික ප්‍රතිපත්තියක් සකස් නොවුණි. අනෙක් ප්‍රධානම දේ රටේ දේශීය සම්පත් විකුනා ජීවත් වීමයි. සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුව හැරුනුවිට දේශීයත්වය නංවන කිසිදු වැඩපිලිවෙලක් කිසිදු ආණ්ඩුවකට තිබුනේ නැත. කෙටියෙන්ම කියතොත් නිදහසින් 71 වසර සපුරන අපි අසාර්ථක රටකි. 

දුක නැති කිරීම 

මේ දුක නැති කිරීමට නම් කල යුත්තේ හේතුව නැති කිරීමය. වසර 71 ක අසාර්ථකභාවය මේ දේශපාලකයින් සමූහය නම්., එවැනි දේශපාලන සමූහයක් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් හට නැවත නැවත බලය දීමෙන් රට මේ යමින් තිබෙන අගාධයෙන් ගොඩගත නොහැක. රට ගොඩ ගැනීමට කලයුතුව තිබෙන්නේ ඉංග්‍රිසි ආක්‍රමිණිකයා අපට ඉතුරුකර දමා ගිය ඔවුගේ සුවච කීකරු දේශපාලන පැලැන්තිය දේශපාලනිකව පැරදවීමය. ඔවුන් පරදවා දේශප්‍රේමී තරුණ දේශපාලන නායකයින් පිරිසක් වෙතට බලය මාරු කිරීමය. 
දුක නැති කිරීමේ මාර්ගය සොයා යනු පිණිස මේ ලිපි පෙළම යොමු වෙයි. විකල්පය සොයා යාම යනු එම මාර්ගය සොයා යාමයි. සැබෑ නිදහස් රටක් වෙනුවෙන් අපි විකල්පය සොයා යමු.

චාමර නාකන්දල

No comments: