විකල්පය සොයා - සමාජ පරිවර්ථනීය අවස්ථාවක්


සමාජ පරිවර්ථනයක් උදෙසා පරිසරයක් මේ මොහොත වෙනකොටත් ගොඩනැගෙමින් පවතී. මජර දේශපාලනයේ උච්චතම අවස්ථාවකට රට යමින් පවතී. සමාජය තුළ යම් පිපිරුමක් පෙනෙන්නටද තිබේ. විනාශයේ අවසාන මොහොත කොතෙක් බියකරු වුනද ඒ අවසානයත් සමඟ ඊලඟ මොහොත එළබෙනු ඇත. නමුත්,.. ඒ මොහොත වඩාත් ප්රජාතන්ත්රීය අවකාශයක් තුළ මෙරට දේශප්රේමී පුරවැසියා කෙසේ භාවිතා කරයිද යන්න ගැටලුවකි.

සමාජ පරිවර්ථනීය අවස්ථාවක් රට තුළ ඇතිවීම සඳහා උපරිම වැඩකොටසක් සිදුවන්නේ මේ මජර ක්රමයේ ගිලුනු ප්රධාන දහරා කීපය විසිනි. ඔවුන් විසින් දිගින් දිගටම මේ ක්රමයේ තිබෙන අර්බුධය සඳහා ඇති තරම් නිදසුන් ජනතාවට සපයමින් තිබේ. තව දුරටත් තම මජර නිරුවත වසා ගැනීමට ඔවුන්ට හැකිවි නැත. ඔවුන්ගේ සහයට ජන මාධ්ය පැහැදිලිවම පෙනී සිටියත් මේ මජර ක්රමයත් දේශපාලකයාත් සමඟම ජනමාධ්යද මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ. මේ ක්රියාවලියෙන් ජනමාධ්ය ආපසු නොහැරුනොත් යම් දවසක ක්රමයේ වෙනසකට රට ගමන් කරද්දි මේ මජර ක්රමය සුරැකි ජන මාධ්යවලටද ඉතා අයහපත් කල දසාවක් අත්වනු නියතය.

මේ මජර ක්රමයේ විනාශයට සාපෙක්ෂව ඒ විනාශය පිළිබඳවත් මීළගට ගොඩනැගිය යුතු විකල්ප පිළිබඳවත් හොද කතිකාවතක් රටතුළ ගොඩ නොනැගීම බරපතල ගැටලුවකි. ඉතා විමසිල්ලෙන් බැලීමේදී මෙම විකල්ප කතිකාවතේ දිසාව වෙනස්කර ඇත්තේද අළුතෙන් රට වෙනස් කරන්නට බිහිවූ කණ්ඩායම් කීපයක් මගිනි. ඊට අමතරව සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාව යොමුවන ස්භාවික වේගය ඔවුන්ගේ යම් ක්රියාකාරකම් නිසා අඩපනව පවතී.

කුඩා කණ්ඩායම් කීපයක් මූලික කරගෙන ජනාධිපති ධුරය සදහා බල අරගලයක් නිර්මාණය වී ඇත. සිවිල් සහ පුරවැසි සංවිධාන 30 ක් 40 ක් අතර ප්රමානයක් මේ බල අරගලයේ ගොදුරු බවට පත්වෙමින් ප්රධාන පාර්ෂව 4 ක් මුල්කරගෙන වට වන්දනාවකද යමින් සිටී. අවසානයේ ඔවුන් හතිවැටී නතර වීම හෝ අකර්මන්ය වීම සිදුවීමට ඉඩ ඇත.

ඝන අඳුර මැද දැල්වෙන කුඩා එලිය නම් මේ කණ්ඩායම් කිසිවෙකට අයත් නැති ස්වාධීන පුරවැසියන් පිරිසක් සමාජ මාධ්ය හරහා වැඩ කිරීමයි. සමාජ පරිවර්තනීය අවස්තාවක් නිර්මාණය වෙතොත් ඒ සිදුවන්නේ ඔවුන් තුලිනි. එය මර්ධනය කිරීම ද අඩපන කිරීම ද නොහැකිවනු ඇත. මන්ද යත් ඔවුන් තැන් තැන්වල සිට සටන් කරන සටන්කරුවන් වන හෙයිනි. වඩා ප්රභලතම බලපෑම ඔවුන් තුළින් සිදුකරනු ඇත.

මේ ක්රමය වෙනස් කරන සමාජ පරිවර්තනය උදෙසා මේ වනවිට වැඩිම වැඩ කොටසක් ඉටු කරන්නේ සමාජ මාධ්යයයි. එහි ක්රමානුකූල බවක් නොමැතිවුනද ජාලගත කිරීමක් නොමැති වුනද එයින් එල්ලකරන පීඩනය ඉතා බලවත්ය. පරිඝනක හෝ ඩිජිටල් ජංගම දුරකථන භාවිතය පිලිබදව සාමාන්ය දැණුමක් තියෙන අයෙකුට තිබෙන භාවිතාවේ පහසුවද දරන්නට සිදුවන මූල්ය පිරිවැය අධික නොවන නිසාද සමාජය වෙනුවෙන් කතා කරනවාට අමතරව දැණුම විනෝදය ලබන්නට ඇති හැකියාවද සමාජ මාධ්ය භාවිතයෙහි සහ එම භාවිතය තුලින් ක්රමය පිලිබද විවේචනය ද ඉතා සීග්රයෙන් ඉහල යමින් පවතී.

සමාජ පරිවර්තනයක් සදහා රට සහ ජනතාවට නායකත්වය දිය හැකි නව තරුණ නායකයින් බිහි නොවීම බරපතල ගැටලුවකි. තැනින් තැන බිහිවෙන එවැන්නන් සදහා මාධ්ය තුල 1%කවත් ඉඩක් ලබා දෙන්නේද නැත. ඔවුන් සමාජ මාධ්ය තුලද ඉහලට එසවීම පෙනෙන්නට නැත. දැවැන්ත වෙනසක් සදහා රට පෙලගස්වන්නට නම් එවැනි නායකයින් රාශියක් සමාජය තුලින් මතුවී ආ යුතුය. නායකයින් බිහි කිරීම කෘතිමව කල නොහැක්කකි. විශේෂයෙන් මජර ක්රමයක් වෙනස් කල හැකි, දක්ෂයින් බිහිකල හැකි නිෂ්පාදනාගාර නැත. නමුත් ක්රමය වෙනස් කිරීම සදහා වන කතිකාවතක්., භූමියේ වැඩකොටසක් සමග සැබෑ නායකයින් මතුවනු ඇත. එවැනි නායකයින් පෙරට ගැනීමේදී ක්රමය විසින්ම හදන ලද මානසික බාධක ජය ගැනීම සදහා යම් වැඩසටහන් නිර්මාණය විය යුතුය. නායකයින්ට පමනක් නොව සාමාන්ය ජනතාවද විකල්ප බලවේගයක් තුලට ගෙන ඒම සදහා ද වැඩපිලිවෙලක් සකස් විය යුතුය.

තැත් තැන්වලින් මතුව එන ක්රමය නිසා පීඩාවට පත්වූවන්ගේ ආවේගය, ක්රමයට විරුද්ධ සටන්, විකල්ප වෙනුවෙන් නැගෙන බලාපොරොත්තු, නිසියාකාර සමාජ ව්යයාපාරයක් තුලින් එක් පෙළකට පෙළගස්සවා ගත යුතුය. ඒ තුලින් සමාජය රට වෙනස් කරන බලවේගයක් නිර්මානය කරගත යුතුය. එසේ නොවුනහොත් පීඩනය, අපේක්ෂා භංගත්වය මතින් සමාජය සහ රට ඉතා දරුණු ඉරනමකට පත්වීම වැලැක්විය නොහැක. සමාජ පරිවර්තනයක් උදෙසා වන ජනතාවගේ සටන කිසිවෙකුගේ බූදලයක් නොවේ. බලකාමී දේශපාලන න්යාය පත්රවලින් එය නවත්වාලිය නොහැක. නිසැකවම විකල්ප මතුවනු ඇත. කාලය තීරණය වන්නේ ජනතාවගේ මැදිහත්වීමේ බර මතිනි.

Instagram

චාමර නාකන්දල | Designed by Oddthemes | Distributed by Gooyaabi