යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Wednesday, May 8, 2019

විකල්ප කලාව


කලාව වූ කලි ජනතාවගේ මනස වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි අපූරු මෙවලමකි. වේදිකාව, සිනමාව, ගීතය, කවිය, සිතුවම ඇතුළු සියලුම කලා නිර්මාණ මිනිසාගේ මනස වෙනස් කිරීමට, නව මානයකින් දකින්නට හැකි ලෙස භාවිතා කළ හැක.

දේශපාලන වේදිකාවක හෝ මාධ්යයෙහි විකාශය වන දේශපාලන සංවාදයකදී හෝ පැය ගණන් කතා කරමින් සමාජගත කරන්නට උත්සහ කරන අදහසක් එක් ගී කණ්ඩයකින්, කුඩා කාටුනයකින් හෝ මනාව පෙළගස්වන ලද වීඩියෝ රූපරාමු පෙළකින් සමාජගත කළ හැක. කලාවේ සුන්දරත්වය වාරණයේ සීමාද අතික්රමණය කළ හැක. අවශ්ය වන්නේ වඩාත් නිර්මාණාත්මක ප්රවේශයක් පමණි.

නුතන කලාව සහ දේශපාලනය.

වර්ථමානයේ දේශපාලනිකව මිනිසාගේ සිතුවිලි පරාසය වැඩි කරලීමට කලාව ප්රබලව භාවිතා වන බවක් දක්නට නොලැබෙයි. කලාවේ සහ දේශපාලනයෙහි සම්බන්ධතාවය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කලාකරුවන් දේශපාලකයන්ගේ වේදිකාවලට ගොඩවීමෙනි. දේශපාලකයන් තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට කලාකරුවන්ව සිල්ලරට නොව තොග වශයෙන් පාවිච්චි කරයි.

එසේ හැරුණුකොට නූතන දේශපාලනයේ අර්බුධය කතා කිරීම සඳහා කලාවෙන් හොද සහයෝගයක් ලැබෙන්නේ නැත. බොහෝ කලාකරුවන් ප්රධාන කඳවුරු තුන හතරට බෙදී ඇති නිසා ඔවුන්ගේ අරමුණු දිව යන්නේ ඊළඟ මැතිවරණයේදී තම කඳවුරට වැඩි ඡන්ද ප්රමාණයක් ලබා දීමට දායක වීමය. ඒ මත දශක හතක දේශපාලන ශාපයෙහි යතාර්ථය ඔවුන්ට මඟ හැරී යයි. කලා නිර්මාණ තුළින් ඒවා මඟ හැරී යයි.

රූපවාහිනිය සහ ගුවන්විදුලිය

ජනතාවට යම් පණිවිඩයක් ගෙනයද්දී ශ්රව්ය දෘශ්යය මාධ්ය ඉතා ප්රබලව භාවිතා කළ හැක. ලෝකයේ ප්රබලතම සන්නිවේදන මාධ්ය එයයි. නමුත් පාලකයන්ගේ අතකොළු වූ රාජ්ය නාලිකා දෙකත්, මෙගා ටෙලි රැල්ලෙන් සහ රියලටි වැඩසටන් කලාවෙන් ඔද්දල් වූ පුද්ගලික නාලිකා ටිකත් ජනතාවගේ මනස පටු කරනවා විනා කරන අන් යමක් නැත. වෛරය, පළිගැනීම සහ පවුල ඇතුලේ සිඳුවන දේපල බෙදාගැනීම්, විවාහ ගැටළු වගේම කිසිදා කිසි විටකත් මේ මහපොළොව මත සිඳු විය නොහැකි සිඳුවීම් පෙළගස්වා ජනතාවගේ මනස විකෘතී කිරිමේ වැඩකොටස නම් මෙම මාධ්ය සියල්ල මනාවට කරගෙන යයි.

එෆ්. එම් නාලිකාවල තත්වයත් මෙයට දෙවෙනි නොවේ. උදේ සිට රෑවෙනකම් එකම රිද්මයක මල් සින්දු සමූහය එක දිගට වාදනය වෙයි. බස නසන නිවේදක රැළ එක දිගට කියවයි. අසන්නා විහිලුවට ගනී. සමස්ථ ගුවන් කාලයෙන් ප්රවෘත්ති සහ ඉතා කුඩා ගුවන් කාලයක් වෙන් කරන ගුණාත්මක වැඩසටහනක් කීපයක් හැරුණුකොට අන් සියල්ල මනසට අලුත් යමක් හිතන්නට හුරුකරන අලුත් දැණුම දෙන දෙයක් නැත.

වෙනසක් ඕනේ යැයි කියන සමාජයක විද්යුත් මාධ්යය භාවිතාව එයයි.

අනෙකුත් කලා මාධ්

සිනමාව කලා මාධ්යයක් හැටියට යම් පසුබෑමක් පෙන්වන්නේ බොහෝ කලෙක සිටය. කාම චිත්රපට රැල්ල, විකට චිත්රපට රැල්ල රජකතා රැල්ලෙන් පසු කලාවක් ලෙස යම් යම් ප්රසස්ථ නිර්මාණ හරහා සිනමාව නැඟී සිටින්නට උත්සහ දරයි. රට වෙනස් කරනවා වෙනුවට මුලින්ම සිනමාව වෙනස් විය යුතුව ඇත.

නවකතාව, සිතුවම් කලාව ඇතුලු අවශේෂ කලාවන්ට අප මේ ලිපියෙන් කතාකරන රටේ වෙනසක් කිරීමට දායක වීමේ සීමා පවතී. නමුත්, හැමදාමත් වේදිකා නාට්ය සතුටුදායක වැඩකොටසක් කරයි. එය ප්රමාණාත්මකව විශාල බලපෑමක් නොවන්නේ වේදිකා නාට්ය රසිකයින්ගේ සීමාසහිත බවයි.

විකල්ප කලාව සහ විකල්ප මාධ්

සමාජය වෙනස් කිරීම සඳහා පෙළගැසිය යුතු ප්රධානම මාධ්ය විය යුත්තේ සමාජ මාධ්යයි. කාටුන් චිත්ර, නිසඳැස්, කවි, කෙටිකතා, ගීත, කෙටි වීඩියෝ සහ සංවාද මේ සියල්ල සමාජ මාධ්ය තුළින් ප්රකාශ කළ හැක. දැනටමත් තරුණ නිර්මාණකරුවන් මේ හරහා වැඩකරමින් සිටී. ඔවුන්ගේ එකමුතුවක් ගොඩනඟා වඩාත් ක්රමානුකූල ලෙස ඔවුන් පෙළගස්වාගත හැකිනම් ප්රබල බලපෑමක් විකල්ප කතිකාවත ගෙන යාම සඳහා කළ හැකිය.

කාටුන්, සිතුවම්, කවි, නිසැඳැස්, ගීත, වීඩියෝ සහ සංවාද මේ සියල්ල විකල්ප කතිකාවත ගොඩනැඟීම සඳහා භාවිතා කළ හැකිය. විකල්ප කලාව සහ විකල්ප කලාකරුවන් යන අනන්යතා ඉහළට ගෙන ආ යුතුය. ඔවුන් ඇගයීමට වැඩපිළිවෙලක් සැකසිය යුතුය.දැනටමත් නිර්මාණය වී ඇති එවැනි නිර්මාණ එක් තැනකට ගෙන එන්නට කටයුතු කිරීමද විකල්ප කලාකරුවන් රැක ගැනීමට කටයුතු කිරීමද සිදුවිය යුත්තකි.

ක්රමයේ වෙනසක් සිඳුකිරීම ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් හෝ පාර්ලිමේන්තු බලය අත්පත් කර ගැනීමෙන් පමණක් සිදුකළ නොහැක. බහුතර ජන මනස එයට සූදානම් විය යුතුය. ඒ සඳහා කලාව අත්යවශ්ය සාධකයකි.

No comments: