යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Monday, January 28, 2019

අවසාන විසඳුම - 2019 ජනවාරී 28


දේශපාලනය යනු ලොව උඩින්ම පවතින විෂය බව මා විශ්වාස කරමි. එය ආගමටත් වඩා ප්‍රබලය. එහෙත් මව්බිමේ මහපොලොව මත පවතින ඇත්ත නම් මේ තක්කඩි දේශපාලනය විසින් විනාශ නොකරපු දෙයක් නොමැති බවය. පුරවැසියා මානසිකව දේශපාලන වශයෙන් අවතැන් කර ඇත. මේ රත්තරං භූමිය මේ තක්කඩි දේශපාළුවන්ගෙන් බේරගන්නේ කවදාද? ඒ සඳහා අප කුමක් කළ යුතුද? 

මතුපිටින් දකින ප්‍රශ්නය

අද දවස වනවිට රට මුහුණදෙන ප්‍රශ්න රාශියකි. පුරවැසියන් ප්‍රශ්නය අවබෝධ කරගන්නේ ඔවුනොවුන්ට ආවේනික ඍජු සහ සමීපතම කරුණු තුළින්ය.
ගොවියාට ගොවිතැන් කිරීමේ සහ අස්වැන්න විකිණීමේ ප්‍රශ්නයය. ධීවරයාට ඉන්ධන සහනාධාරය ඇතුළු ධීවර ප්‍රශ්නයය. කම්කරුවාට වැටුප සහ ඊට ආවේනික ප්‍රශ්නයය. රතුපස්වලට ජල ප්‍රශ්නයය. කොලොන්නාවට කුණු ප්‍රශ්නයය. මගියාට ප්‍රවාහන ප්‍රශ්නයය. පාරිභෝගිකයාට ප්‍රමිතිය, මිල සහ සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයය.

රැකියාව , ප්‍රදේශය හෝ පුරවැසියා ඒ ඒ අවස්තාවන්හීදී පත්වන පුද්ගල චරිතය අනුව ප්‍රශ්නය හදුන්වාගනී. හේතුවද සමීපයෙන්ම සොයාගනී. සමීපයෙන් දකින හේතු සියල්ලම අතරින් සැගවී තිබෙන දේශපාලන යතාර්ථයක් තිබේ. ඒ කුමක්ද ?

යතාර්ථය

එදා මෙදා තුර රට පාලනය කෙරූ බහුතරයක් නායකයින් සහ පක්ෂ පුරවැසියා පිළිබඳ නොසිතා තමන් සහ තම පාලනය ආරක්ෂාකර ගැනීමත් තම පැවැත්මත් මූලික කරගෙන දේශපාලන තින්දු ගැනීම නිසා මෙම තත්වය උදා විය. මේ නිසා නිවැරදි විද්‍යාත්මක කළමනාකරණයකට ඉඩක් ඇත්තෙම නැත.

වඩා භයානකම තත්වය වන්නේ ජාතික දේශපාලන තලය අත්පත් කරගත් දේශපාලන පැලැන්තියක් රට තුළ නිර්මාණය වීමයි. පුරවැසියා සහ පාලකයා අතර පරතරයක් නිර්මාණය කර ඇත. සාමාන්‍ය පුරවැසියාට ජාතික දේශපාලන තලය අහිමිකර ඇත. 69
මෙම පැලැන්තියේ දේශපාලනය පවත්වාගෙන යාම සඳහා සහ අනාගතය බාරදීම සඳහා ජාතික දේශපාලනයට ආනයනය කරන ප්‍රධාන පුද්ගල කණ්ඩායම් තුනකි.

01 - දැනට සිටින දේශපාලකයින්ගේ දරුවන්, බිරින්දෑවරුන් සහ නැදෑයින්
02 - හොදින් හෝ නරකින් මුදල් එක් රැස් කළ ව්‍යාපාරිකයින්
03 - වෙනත් ක්ෂේත්‍රයන් හරහා ජනප්‍රියත්වය හදාගත් පුද්ගලයින් (නළු නිලියන්, ක්‍රීඩකයින්)

දශක එකහමාරක පමණ කාලයක සිට හදිසියේ ජාතික දේශපාලනයට කඩාවදින මෙම පිරිස ක්‍රමානුකූලව ප්‍රාදේශීය දේශපාලනයේ අත්දැකීම් ලබමින් එන අංකුර දේශපාලකයින්ගේ ගමන අඩාල කර ඇත.

දේශපාලන කියවීමක් ඉතිහාසය පිළිබඳ දැනුමක් නොමැති පක්ෂ දේශපාලනය විසින් හීලෑ කරන ලද මෙම දේශපාලකයින් තම නායකයන්ගේ ප්‍රසාදයත් ඒ තුළින් තම අනාගත පුද්ගලික සුඛවිහරනයත් උදෙසා නායකයින්ගේ අණින් පමණක් රටට බලපාන තීරණවලට එකඟවීම මෙම දේශපාලනයේ ඛේදවාචකයයි.

පවතින මැතිවරණ ක්‍රමයද සැබෑ පුරවැසියාගේ ජාතික දේශපාලන ප්‍රවේශය අඩාල කළ අතර මේ හේතුවෙන් සුළු පිරිසක් විසින් දිගින් දිගටම තමන්ට රිසි සේ රට පාලනය කරමින් සිටියි.

මේ හේතුවෙන් අපට වඩා පිටුපසින් සිටි සිංගප්පූරුව, කොරියාව වැනි රටවල් අපව අභිබවා සංවර්ධනයෙන් ඉතා ඉහළට යද්දී අප තවමත් සංවර්ධන සිහිනය දකිමින් සිටින්නෙමු.එවැනි නායකයින් අපට සිටියේනම් විශාල ස්භාවික සම්පත් ප්‍රමාණයක් ඇති අපේ මව්බිම අද සංවර්ධනයේ හිනිපෙත්තේ සිටින රටක් වනු ඇත. 97

එකම අවසාන විසදුම

“මේ යුගයේ දරුණුතම ඛේදවාචකය වන්නේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොද මිනිසුන්ගේ නිහඬතාවයයි.” - මාටින් ලූතර් කිං

ඒ නිහඬතාවය බිදීම අද ලාංකීය දේශපාලනයේ අවශ්‍යතාවයයි.

ඔබට අයිති, ඡන්දය දීම සහ බදු ගෙවීමම පමණක් නොවේ. ඔබට දේශපාලනය කිරීමටත් රට කරන නායකයින් බවට පත්වීමටත් අයිතියක් ඇත.

ඔබ දේශපාලනය කරන්නට පටන්ගත් මොහොතේ සිටම දේශපාලකයාගේ වැරදි දේශපාලන ගමනේ අවසානය ආරම්භ වනු ඇත. ඔවුන් ඔවුන්ගේ ගමන නිවැරදි කරගනු ඇත. නැතිනම් දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවනු ඇත. 

බඩ තඩි, ඇග හොර, කම්මැලි දේශපාලකයා පරාජය කිරීම සදහා කකුල් හයිය, කට තියෙන මනුස්සකමින් පිරි හොද නුවණක් සහිත තරුණ නායකයින් ගොඩනැගීමෙන් (මනාප ක්‍රමය වෙනුවට කේවල ආසන ක්‍රමය පැමිණියගොත් වඩාත් හොද තරඟයක් දිය හැක.) පුරවැසියාගේ සැබෑ නියෝජනයක් ජාතික දේශපාලනයට ගෙන ආ හැකිය.
වැඩි වශයෙන් පුරවැසියන් දේශපාලනයට කැදවා, බලය අත්පත් කරගැනීමෙන් හෝ බලපෑම් කලහැකි කණ්ඩායමක් ලෙස රට හදන දෙවෙනි පියවරට අපට ගමන් කළ හැක.

පැරනි මජර දේශපාලන කඳවුරුවලට රට වෙනස්කරන නව විකල්ප ගෙන ආ නොහැක. මන්දයත් තිබෙන ක්‍රමය ඔවුන්ට රිසි සේ ජනතාවගේ මුදල් මංකොල කෑමට අවශ්‍ය තරම් පරිසරයක් හදා තිබීමය. ඒ නිසා විකල්ප ක්‍රමයක් සදහා විකල්ප නායකයින් මෙන්ම විකල්ප කඳවුරක්ද නිර්මාණය කලයුතුව ඇත. මේ පුරවැසියා දේශපාලනය කලයුතුම කාලයයි. විකල්ප සොයා යා හැක්කේ පුරවැසි දේශපාලන ව්‍යාපාරයකින් පමණි.
මට ප්‍රසිද්ධ වැකියක් මතකයට නැඟෙයි

”යම්කිසි ජාතියක් තමාගේ හිස දංගෙඩියත් කඩුවත් අතර තිබියදී ඊට විරුද්ධව කැරලි නොගසයිද එවන් ජාතියක ඉරණම ඛේදජනකය. “

No comments: