යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Monday, January 21, 2019

පරපුරක බලයෙහි භූමිකාව - 2019 ජනවාරී 21

ලංකාව තුළ බොහෝ සංවිධාන ඇති වී නැති වී යයි. බොහෝ සංවිධානවල අරමුණු තාවකාලික ඒවාය. තවත් සමහරකගේ ගමන මඟදී වෙනස් වෙයි. කෙටි කලකින් නිමාවන සංවිධානද බොහෝය. පරපුරක බලය ගොඩනැගෙන්නේ මේ පරිසරය තුළය. විකල්පය සොයා යන ගමනේ ‘පරපුරක බලය’ වූ කලි අපූරු පර්යේෂණ ආයතනයකි. ජයග්‍රහණවලට වඩා පරාජයන් බහුලය. එයින්, පරාජය වන්නට හේතු සහ අනාගත පරාජයන් වළක්වා ගන්නට අත්දැකීම් හඳුනා ගන්නට හැකි විය.

පරපුරක බලය නිර්මාණය වන්නේම විකල්ප සොයන පුරවැසියන් සදහාය. විකල්පය කුමක්ද යන්න අප මේ වන විටත් තීරණය කර නැත්තේ විකල්පය අවශ්‍ය වන්නේ රටට නිසාත් ‘පරපුරක බලය’ යනු රට නොවන නිසාත්ය. පරපුරක බලයෙහි කුඩා කණ්ඩායමක් මතින් රටට අවශ්‍ය විකල්ප සදහා නිර්ණායක සකස් කිරීම නොකර බහුතර පුරවැසි සහභාගීත්වය මේ සදහා ඇවසිය. නමුත් විකල්ප හැදිය යුතු පරාසය අපි හඳුනාගෙන ඇත්තෙමු.

භූමියේ යථාර්ථය

කුමන විකල්පයක් වුවද මේ මහ පොළොවේ යථාර්ථය මත ගොඩනැගිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. මේ පරිසරයට, බිමට, ජනයාගේ විවිධත්ව සංස්කෘතියට, ඉතිහාසයට මෙන්ම වෙනස්වන ලෝකයේ වේගයෙන් වන වෙනස්කම්වලටද ගැළපෙන පරිදි විකල්ප ගොඩනැඟිය යුතු බව පරපුරක බලය ප්‍රතිපත්තිමය පිළිගැනීමයි.

කලින් සකසන ලද (රෙඩිමේඩ්) ප්‍රතිපත්ති අමු අමුවේ පිටරටින් ආනනයන කර මේ මහ පොළොවේ පැළ කරන්නට යාමේ ආදිනව අපි බොහෝ විඳ ඇත්තෙමු. ඒ නිසා විකල්ප මේ මහපොළොවෙන්ම මතුකරගත යුතු වෙනවා මෙන්ම ඒ සදහා විශාල කාලයක් වියදම් කිරීමටද අපට සිදුවනු ඇත. හතු පිපෙන්නා සේ ඇතිවෙන ක්ෂණික විකල්ප රටට දැනෙන කිසිඳු බලපෑමක් නොකර දියවෙනවා නොඅනුමානය.

වසර හතරක ඉතිහාසය

‘පරපුරක බලය’ ගොඩනැඟෙන්නේ පවතින සංවිධානවලට පරිබාහිරවය. මෙහි බොහෝ සාමාජිකයින් දේශපාලනය ආරම්භ කරන්නේම මේ තුළින්මය. සංවිධාන කඩාගෙන ඇවිත් එකතුවීම ආරම්භයේදී සිදු නොවිණි. පරපුරක බලය කඩාගෙන ගොස් ගොඩනැඟූ සංවිධානද නොමැත. නමුත් ප්‍රධාන ධාරාව සමඟ එක් වූ සාමාජිකයින් ඇත.

සංවිධානයක් ලෙස වසරක් පමණ ගෙවා දමන්නේ සැලසුම් සහ ප්‍රතිපත්තිමය එකඟතාව හදාගැනීම පිණිසය. අප විසින් මීට වසර 4කට පෙර හදාගත් අරමුණු පහත සඳහන් වේ. රටේ මීළඟ විකල්පය ගොඩනැගීම සඳහා යම් උපාය මාර්ගික ප්‍රවේශයක්ද මේ තුළ වෙයි.

01 - පුරවැසියන් දේශපාලනයට කැඳවීම.

02 - පුරවැසියන්ට දේශපාලන දැනුම අවබෝධය ලබාදීම.

03 - විකල්ප දේශපාලන කතිකාවතක් ගොඩනැඟීම.

04 - විකල්ප පුරවැසි දේශපාලන කණ්ඩායම් ශක්තිමත් කිරීම/ජාලගත කිරීම/සංවිධානගත කිරීම

05 - විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැගීම.

06 -නියෝජිත ආයතනවලට නිර්පාක්ෂික පුරවැසියන් පත්කිරීම සඳහා දායකවීම.

07 - පුරවැසියන්ගේ ආණ්ඩුවක් බිහිකිරීම.

මුල් වසරෙන් පසුව පිවිසෙන්නේ සමාජය තුළ කතිකාවතක් ඇති කිරීම උදෙසා මැදිහත් වීම සඳහාය. පානම ඉඩම් අරගලය, කොටිකන් බොක්ක රක්ෂිතය බේරාගැනීම ඇතුළු ජන සමාජයේ ජනප්‍රිය නොවූ අරගල පරපුරක බලයේ මැදිහත් වීමෙන් ශක්තිමත් කෙරුණි. රටේ සෑම විනාශයකදීම අප අපේ මතය ස්ථීර තැනක සිට ප්‍රකාශ කෙරුවෙමු. එදිනෙදා ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වීම විකල්ප දේශපාලන කණ්ඩායමක ප්‍රතිපත්තිය සහ සංස්කෘතිය විය යුතුය.

2018 පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම්වලට සහයෝගය දීමට පරපුරක බලය තිරණය කළේය. බොහෝ සිවිල් පුරවැසි කණ්ඩායම් ප්‍රධාන පිල් හතරකට බෙදී ප්‍රධාන ධාරා ශක්තිමත් කිරීමත්, පරපුරක බලය ඉතා අවධානම් දේශපාලන තීරණයක් ලෙස ස්වාධීන කණ්ඩායම් තෝරා ගැනීමත් සඳහා ඉතිහාසය නියමාකාර වටිනාකමක් දී නැත.

හැරවුමක ඇරඹුම

විකල්ප ධාරාවක් නිර්මාණය කිරීමේ වෑයම තවත් වසර ගණනාවක් ඉදිරියට ඇදෙනු ඇත. මක් නිසාද යත් විකල්පය සඳහා බහුතර ජනතාවක් පෙළගැහෙන්නට අවසි නිසාය. 2020දි විකල්ප දහරාවක් බලය අල්ලනු ඇතැයි යන ෆැන්ටසියක පරපුරක බලය නොසිටී. නමුත් 2020දී ස්ථීර, විකල්ප මතවාදී දෙදෙනෙක් පාර්ලිමේන්තු යැවීමට උත්සාහ කළ යුතුය. එය ගණනින් 10 පමණ වන්නේ නම් විකල්ප කඳවුරේ මහා ජයග්‍රගණයකි.

බලාපොරොත්තුවෙන් සිටි දෙවන අදියරට අපි පැමිණ ඇත්තෙමු. එනම් වඩාත් නිශ්චිත සංවිධාන ව්‍යුහයක් තවත් සංවිධාන සමඟ ඒකාබද්ද වීමක් සහ සියලු මාධ්‍ය හරහා පරපුරක බලයෙහි විකල්ප මතය සමාජගත කිරීමත් සඳහාය. ‘පරපුරක බලය’ සංවිධානත්වයෙන් ගොඩනඟන විකල්ප සංවිධාන සාමූහිකත්වයද ඇතුළුව වැඩපිලිවෙළවල් රාශියක් ඉදිරියේදී සමාජගත වනු ඇත.

අපගේ උපක්‍රම මේ වනවිට සාර්ථක වෙමින් පවතී. මාධ්‍ය අප දෙස බලමින් පවතී. සංවිධානයට නව පිරිස් එකතුවෙමින් පවතී. මේ නිර්මාණය වන්නේ විකල්ප පුරවැසි අවකාශයයි. ඒ අවකාශය ඔබගේය.

[චාමර නාකන්දල]

No comments: