යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Monday, January 14, 2019

ඇරඹුමට පෙර විමසුම - 2019.01.14


විකල්පය යනු පසුගිය කාලය තුළ පට්ට ගහමින් සිටින තවත් දේශපාලන වචනයකි. දශක හතක දේශපාලන පිරිහීම, අසත්මත් රාජ්‍යක් බවට පත්වීම මත මිනිසුන් විකල්ප ගැන කතාකරති. විකල්පය පිළිබඳව කතාබහ ගොඩනගද්දී අප, ප්‍රවේසමෙන් බැලිය යුතු කාරණා රැසකි.

විකල්පය යනු කුමක්ද ?

විකල්පය යනු මෙය යැයි ඉරිගසා කොටුකර පෙන්විය නොහැක. සමස්ථයම වෙනස් විය යුතුයැයි තර්කයක්ද නොමැත. අවශ්‍ය වන්නේ අසාර්ථක වීමට තුඩුදුන් හේතු හදුනාගෙන පිළියම් යෙදීමය. වෙනස්වීම සමාජයට දරාගත හැකි පරිදි දිගුකාලීනව කිරීමද වැදගත්ය. යම් අවයවයක් ශරීරයට බද්ධ කරද්දි යම් ගැලපීම් ප්‍රමානයක් සලකා බලන බව අප කවුරුත් දන්නා කටුණකි. ඒ ලෙසම සමාජයට දරාගත හැකි පරිදි විකල්ප ක්‍රියාත්මක කිරීම කළයුතුය. නැතහොත් ලෝකයේ හොදම විකල්පය වුවද ප්‍රතික්ශේප වීමට ඉඩ තිබේ.

විකල්පය පිළිබඳව දැනටමත් සමාජයේ කතාබහක් ඇත. ව්‍යවස්ථාවේ රාජ්‍යයේ පමණක් නොව පුරවැසියාද වෙනස් විය යුතු යුතුය. වසර 70 ක දේශපාලන ශාපයෙන් නිදහස් වීම සදහා විකල්ප පිළිබඳව නිවරදි යෝජනා මතුකර ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට බලකරන ජනතා බලවේගයක් හදාගැනීම සඳහා විකල්ප කතිකාවතක් ඇතිවිය යුතුය.

විකල්ප කතිකාවතක්

විකල්පය ගොඩනැගීම සඳහා විකල්ප කතිකාවතක් ගොඩනැගෙන්නේ නම් වඩාත් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ඇත. ප්‍රධාන දහරාව වෙත එල්ල කරන විවේචනය එපමණකින් නොනවතී. ඒ විවේචනයට බඳුන් වූ කාරනා, හේතු සහ එම ප්‍රතිඵල නැවත ඇති නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කතිකාවතක් ඇතුලු කල හැක.

විකල්ප කතිකාවතක් රට තුළ ඇතිකිරීම පරපතල අභියෝගයකි. විද්‍යුත් මාධ්‍ය තුළ ( රූපවාහිනී, ගුවන් විදුලි ) තුළින් මෙයට ප්‍රමාණවත් ඉඩක් නොලැබීමේ තත්වයක් පවතී. කෙසේ වෙතත් විද්‍යුත් මාධ්‍යයෙහි සහයෝගය සිටීම සිටීම වැදගත් වේ. මුද්‍රිත මාධ්‍ය තුළ විකල්ප කතා කිරීම සඳහා යම් ඉඩක් පවතී. සමාජ මාධ්‍ය මේ සඳහා භාවිතා කළ හැක. නිෂ්චිත සැළසුමක් සහ නිර්මාණාත්මක භාවිතයක් තිබුනහොත් හොද ප්‍රතිඵලයක් ලබාගැනීමට තරම් සමාජ මාධ්‍ය ප්‍රභලය. නමුත් සමාජ මාධ්‍ය භාවිතා නොකරන පුරවැසියන් වෙත විද්‍යුත් මාධ්‍ය සහයෝගයකින් තොරව විකල්ප මතවාද ගෙනියන්නේ කෙලෙසදැයි යන ප්‍රශ්නයට ඇත්තේද නිර්මාණාත්මක විකල්පයකි. එය ඉදිරියේදී මේ ලිපි පෙළෙන් කතාකරන්නට බලාපොරොත්තු වෙමි.

විකල්ප දේශපාලනය සමාජගත කිරීම උදෙසා කලාව.

කලාව වූ කලි මිනිස් මනස වෙනස් කරවීම සඳහා භාවිත කල හැකි දෙයකි. 1988/89 යුගයත් සමඟ වේදිකා නාට්‍ය ගී ප්‍රසංග රාශියක් කරලියට ආ අතර සමහරක් ඒවා තහනම්ද විය. නන්දා මාලනියගේ “පවන”, ගුණදාස කපුගේගේ “කම්පන” වැනි කැසට්පට සහ සංගීත ප්‍රසංග. සුගත් සමරකෝන්ගේ “උතුරේ රාහුල”, ධර්මසිරි බණ්ඩාරනායකගේ “ධවල භිෂණ”, ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” වැනි වේදිකා නාට්‍යද ඒ අතර විය. මේ සියල්ල තුළින් සමාජයට යම් පණිවිඩයක් දෙන්නට සමත් විය. සමාජය තුළ වූ පීඩනය.. විරෝධය.. කවිය, ගිතය, වේදිකා නාට්‍ය පමණක් නොව කාටූනය හරහාද නැවත කතාබහට ලක්විය. විනී හෙට්ටිගොඩගේ දේශපාලන කාටුනය එම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය සහ කතුවැකිය තරමටම ප්‍රබල විය.

දැනටමත් නව නිර්මාණකරුවන් එවැනි නිර්මාණ කරමින් සිටි. නමුත් ඒවා සමාජතවීමේ අඩුවක් පවතී. එයට අදාල ගැටළු හදුනාගෙන පිළියම් යෙදීමෙන් විකල්ප දේශපාලනය උදෙසා වූ කලාවක් ගොඩනැගිය හැක. මා දැන් විශ්වාස කරන්නේ විකල්ප දේශපාලනය සමාජගත කිරීම උදෙසා කලාව අත්‍යවශ්‍ය බවය.

ජනතාව තුළ ඇති විකල්පයක අවශ්‍යතාවය.

ජනතාවට විකල්පයක අවශ්‍යතාවය දැනෙමින් පවතී. එහෙත් නොදකි. දේශපාලනය පිළිබඳව කතාකරන බහුතරයක් පවසන ජනප්‍රිය වාක්‍ය දෙකකි.

01 - ඔක්කොම එකයි 
02 - 225 මපන්නන්න පුළුවන්නම් හොදයි.

එහෙත් මැතිවරණයකදී මේ ප්‍රකාශන ඡන්ද ප්‍රතිඵල නොපෙනේ. ප්‍රකාශනය ක්‍රියාවක් වන්නේ ඉතාම අල්ප වශයෙනි. මෙහි ඇති සුභවාදී කරුණ ඔක්කොම එකයි කියන බහුතරයක් සිටීමයි. ගැටලුකාරී දෙයනම් එය මැතිවරණ ප්‍රතිඵලයකින් නොපෙනීමයි.

මා, දින දෙකක් පුරා කොළඹදී ජනතාව සමඟ කරන ලද වීඩියෝ සකච්ඡාවකදී මතු වූ ප්‍රධාන අදහසක් වූයේ විකල්පයක් ඇවසි නමුත් විශ්වාස කලහැකි විකල්පයක් නොමැති බවයි. මේ විශ්වාසය නොමැතිවීමට හේතුව පැහැදිලි ජාතික විකල්ප බලවේගයක් නොමැති කමත්, ඉතිහාසයේ විකල්ප යැයි සහ ප්‍රධාන දහරා දෙකින් එපිට දේශපාලනයක් අවශ්‍ය යැයි කියන පාර්ශව සහ පක්ෂ, අවසානයේදි නතර වූ තැනත් බලපෑ බව පෙනෙන්නට තිබේ. 
විකල්ප බලවේගවල ඉතිහාසය.

ඉතිහාසයේ විකල්ප බලවේග ලෙස ප්‍රධාන දහරාවෙන් එපිට දේශපාලනය සොයා ගිය කණ්ඩායම් රැසකි. මේ සියල්ලන්ටම සිදුවූ දේද අප විකල්ප ගැන කතාකරද්දි අවධානයට ගත යුතුය.

මේ සියල්ලම මැදින් රටට විකල්පයක් අවශ්‍ය බවත් පැහැදිලිවම විකල්පයක් රට තුළ ගොඩනැගිය හැකි බවත් මා විශ්වාස කරමි. එය එකවිට කළ නොහැකි අතර ක්‍රමානුකූලව මහ පොලොව මත පැල කළ යුතුය. 

චාමර නාකන්දල

No comments: