දැනෙන ආර්ථික ප්රශ්න, සමාජ පීඩනය මත විරෝධය තැන් තැන්වලින් විවිධ මට්ටමෙන් නැඟෙන අතර ඒවායේ ක්රමානුකූලබවක් හෝ සැළසුම් සහගත බවක් නැත. එය එසේමය. පීඩනය මත පීඩිතයා නැගිටින්නේ එසේය. සමාජය පුපුරන්නට ගත් විටෙක සැමවිටම එය සැළසුම් සහගත මධ්යගත සැළසුම් ඒකකයක, සංවිධානයක, පක්ෂයක සැළසුමකින් තොරවම පිපිරෙන්නට ගනී.
අලුත් ඒකාරාශීවීම්
පීඩනය සමස්ථ සමාජයටම දැණුනත් එයට එරෙහිව නැගිටින්නේ සුළුතරයකි. නැගිටීමේ ආරම්භය ගන්නේ ඊටත් වඩා සුළුතරයකි. නමුත්, සමාජයක් මුදවාගණු පිණිස පුරෝගාමී මෙහෙවරක් ඔවුන් ඉටු කරනු ලබයි. මේ වන විටත් සිවිල් සංවිධාන, වෘත්තිය සංවිධාන හෝ වෙනස් විවිධ සංවිධාන ලෙස පුරවැසි ඒකරාශීවීම් සිඳුවෙමින් පවතී. සමාජ ජාලාහී විවිධ ක්රියාකාරකම්, කණ්ඩායම් ක්රියාකාරකම ලෙසද තනි පුද්ගල ක්රියාකාරකම් ලෙසද ගොඩනැඟෙමින් තිබේ. සමස්ථය සිඳුවන්නේ ක්රමයට එරෙහිවය. ඉතා නිවැරදි දැක්මක් සහිත කණ්ඩායම් තිබුණද බහුතරයක් ඉබාගාතේ සටන් කරමින් පවතී.
මෙම ක්රියාවලියේ කිසිඳු අස්වාභාවික බවක් නැත. දශක ගණනාවක් දේශපාලනිකව නිදි වැදී සිටි ජනතාවක් දේශපාලනය කරන්නට පටන් ගෙන තිබේ. ඔවුනොවුන් තම තමන්ගේ දැණුම හැකියාව මත තම තමන්ට හිතෙන තැනින් පටන් ගෙන තිබේ. සමාජ ජාලා තුළින් තමන්ට හමුවෙන එකා දෙන්නාට කොකු ගසමින් කුඩා කුඩා කණ්ඩායම් බිහිකර ගනිමින් සිටී.
ආධුනික බව
දශක ගණනක අත්දැකීම් ඇති මජර දේශාපාලකයා , සංවිධානාත්මක පක්ෂ සහ කණ්ඩායම් පරදවනු පිණිස සටනට බසිමින් තිබෙන බහුතරය දේශපාලනයට ආධුනික වූවෝ වෙති. ක්රමයට එරෙහිව සටන් කළත් බොහෝ දෙනෙක්ගේ දේශපාලන කියවිමේ පරාසය ඉතාම අඩු මට්ටමක පවතී. ප්රාදේශීය සභාවක්වත් තරඟ නොකල නව පක්ෂ, මාස ගණනකින් පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා දිනන බවට සිහින දකිමින් සිටී. ප්රධාන දහරාව සතු මිලියන හතර පහේ ස්ථාවර ඡන්ද පදනම ඉතාම පහසුවෙන් බිද දැමිය හැකි බවට කෙරෙන තක්සේරුවද ඇතුළුව ආධුනික බව හේතුවෙන් ගොඩනැඟුන ෆැන්ටසි රාශියක්ද ඔවුන් සතුය. මේ නිසාම කුඩා කණ්ඩායම් සිය ගණනක් විසිරව වැඩ කරන අයුරු දක්නට තිබේ.
ප්රතිපත්තිමය වෙනස්කම්
ක්රමය වෙනස් කිරීම මූලික කර ගත්තත් බිහිකළ යුතු නව ක්රමය පිළිබඳව වෙනස් මත මෙම කණ්ඩායම් තුළ දක්නට ලැබේ. ලිබරල්වාදී, වාමවාදී සහ ජාතිකවාදී මෙන්ම ඒ ඒවායේ වෙනස්කම් සහිතවද විවිධ මතවාද සහිත කණ්ඩායම් සකස් වී ඇත. ක්රමයේ ගැටළුව විග්රහ කරන්නේද විසඳුම් නිර්මාණය කරගන්නේද එකිනෙකට වෙනස් මතවාද ගණනාවකිනි. එය ස්භාවිකය. සමාජයක් කිසි විටෙක එකම ආකාරයට නොසිතයි. නමුත්, ගැටළුව වන්නේ මේ සියල්ල සළකා බලමින් කාටත් එකඟ විය හැකි පොදු ප්රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් සකසා ගැනීමය. මෙම ප්රතිපත්තිමය වෙනස්කම් ලිහා ගණු පිණිස මෙම කණ්ඩායම් අතරේ පොදු කතිකාවක් ගොඩ නැඟීම කාලීන අවශ්යතාවයකි.
බල අරගල
මේ මජර ක්රමය නිමා කිරීම සඳහා වන දේශපාලන හිඬැස පිරවීම පිණිස ගොඩනැඟුන පක්ෂ සහ කණ්ඩායම් අතර දැවැන්ත සීතල බල අරගලයක්ද ඇතිවී ඇත. තවමත් එකිනෙකාට මඩ ගසා ගනිමින් මතුපිට ගැටුමක් පෙනෙන්නට නොතිබුනත් සීතල බල අරගලය ක්රියාත්මක වෙමින් පවතී. ක්රමය වෙනස් කිරීම සඳහා වන ඒකරාශීවීම් කිහිපයක් දක්නට ලැබුණත් ඒවායේ සාර්ථකත්වය ලබාගන්නට නොහැකිවුනේ මෙම බල අරගල නිසාය.
ඒකාබද්ධ වැඩපිළිවෙලක්
මෙම කණ්ඩායම්, පක්ෂ සහ පුද්ගලයන් ඒකරාශී කර ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා ගැනීම අනිවාර්ය කොන්දේසියකි. එසේ නොමැතිව විකල්පයක් ගෙන ආ නොහැක. එසේ කිරීම උදෙසා බල අරගල අවම කිරීමද පොදු ප්රතිපත්තියකට යාම උදෙසා ප්රතිපත්තිමය කැප කිරීම්ද අවශ්යය. වෙන් වෙන්ව කරන සටන එක් තැනකට ගොනු කිරීමෙන් ඉතා විශාල ජනතා බලවේගයක් හදා ගැනීමට මාවත සැකසෙයි. පැහැදිලි විකල්පයක් බලාපොරොත්තුවෙන් සිටින පුරවැසියා ඒ සමඟම නැගී සිටිනු ඇත. මාගේ කියවීමට අනුව විසිරී තිබෙන ශක්තිය ඒකරාශී වුවහොත් ඉතා දැවැන්ත බලවේගයක් ඉස්මතු වනු ඇත.
විකල්ප සංවිධාන සාමූහිකත්වය
සිවිල් පුරවැසි සංවිධාන එකතු කරමින් විකල්ප සංවිධාන සාමූහිකත්වය බිහි කරන්නේ විකල්ප දේශපාලන ව්යාපාරය සතු අඩුපාඩු, ගැටළු ගණනාවක් විසදා ගනිමින් විකල්ප මාවත ගොඩනැඟීම උදෙසාය. ක්රේන්ද්රගත නායකත්වයක් නොමැතිව වැඩ කිරීමේ හැකියාවත් ප්රතිපත්තිමය කැපකිරීමත් භූමියේ වැඩ කිරීමේ හැකියාවත් මේ තුළින් මතුකර දෙන්නට හැකිවී ඇත. එකතු වී වැඩක් කරන්නට නොහැකිය යන මානසිකත්වය මුළුමනින්ම බිද හෙලන්නට සමත් සාමූහිකත්වයක් දැනටමත් ඇති වී තිබේ


No comments:
Post a Comment