ලෝක ඉතිහාසයේ කාන්තා දේශපාලනයේ නොමැකෙන සටහනක් තියන්නට ශ්රී ලංකාව සමත් විය. ඒ ලෝකයේ ප්රථම අගමැතිවරිය බිහි කරමිණි. එය ලෝක වාර්ථාවක් වූවා සේම ඇයගේ ධූර කාලය අවසන එක රුපියලක්වත් ණය නැති රටක් බාර දෙන්නට සමත් විය . ඒ කාන්තා දේශපාලනයේ අතීත සටහනක්ය. එදා මෙදා තුර බොහෝ කාන්තාවන් දේශපාලනයට ආ අතර කවදත් කාන්තා නියෝජනය පිරිමි නියෝජනයට වඩා අඩු වීම පෙනෙන්නට තිබුණි.
කාන්තාවන්ගේ ප්රවේශය
ලාංකීය දේශපාලනය තුළ කාන්තා ප්රවේශය සිද්ද වෙන ප්රධානතම ක්රම කිහිපයකි. ඉන් පළමුවැන්න තම ස්වාමියාගේ අභාවයෙන් හෝ ජීවතුන් අතර සිටිද්දිම ඔහුගේ දේශපාලන ආනුභාවයෙන් බිරිඳ දේශපාලනයට පිවිසීමයි. දෙවැන්න, දේශපාලකයාගේ දුවක ලෙස දේශපාලනයට පිවිසීමයි. දේශපාලකයාගේ අනියම් භාර්යාවද දේශපාලනයට ප්රවේශ කරවූ අවස්ථාද ප්රාදේශීය දේශපාලනයෙන් අසන්නට ලැබේ. නිළියක් ලෙස කටයුතු කිරීමද රූප රාජිනියක් වීමද ජාතික දේශපාලනය තුළට පැමිණීමට සුඳුසුකම් වූ අවස්ථාද ඇත. මේ සියල්ලටම එපිටින් තමන්ගේම අනන්යතාවයක් හදාගෙන ඉතාම සීරුවෙන් ඉදිරියට ආ කාන්තා චරිත ඉඳහිට දක්නට ලබේ.
වාමවාදි දේශපාලනයේ කාන්තා නියෝජනය.
වාමවාදි දේශපාලනයේ කාන්තා ප්රවේශය සිඳුවනුයේ කලින් දැක්වූ ආකාරයට නොවේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිඳු කරන ලද සන්නද්ධ කැරලි දෙකේදීද කාන්තා නියෝජනය කැපී පෙණුනි. වාමවාදී දේශපාලනය තුළ ස්වාධීනව නැඟෙන කාන්තා චරිත පෙනෙන්නට තිබුනත් එයද විශාල වශයෙන් නොවේ. ජාතික තලයේ වාමවාදි දේශපාලනයේ කාන්තා නියෝජනයෙහි බලවත් අඩුවක් පෙනී යයි. නමුත් එහි බිම් මට්ටමේ යම් කාන්තා නියෝජනයක් තිබේ.
ප්රධාන දහරාවේ කාන්තා පාක්ෂිකාවෝ
ප්රධාන දහරාවේ දේශපාලන පක්ෂවල බිම් මට්ටමේ යම් කාන්තා නියෝජනයක් දක්නට ඇත. මැතිවරණය සඳහා අපේක්ෂකත්වයට කාන්තාවන් දුලභ වුවත් පාක්ෂිකයන් ලෙස කාන්තාවන් සෑම අවස්ථාවකදීම දක්නට ලැබෙයි. පෙළපාලි, රැස්වීම් මේ සියල්ලම සඳහා යම් කාන්තා නියෝජනයක් එක් කිරීමට ප්රධාන ප්රවාහයේ දේශපාලන පක්ෂ සමත් වි තිබේ.
විකල්ප සහ සිවිල් සංවිධානවල දායකත්වය.
ප්රධාන ප්රවාහයට විකල්පයක් ලෙස හෝ ආදේශකයක් ලෙස ගොඩනැඟෙන කණ්ඩායම් සහ පක්ෂවල කාන්තා නියෝජනය ඉතාම දුර්වල මට්ටමක පවතී. විකල්ප සහ සිවිල් සංවිධානවල කාන්තා නියෝජනයද අතිශය දුර්වල මට්ටමක පවතී. සමහරක් සංවිධානවල කාන්තා නියෝජනයක් ඇත්තේම නැත.
වෙනසක් වෙනුවෙන් එක් නොවන කාන්තාවන්.
රටේ වැඩිම ප්රතිශතයක් සිටින්නේ කාන්තාවන්ය. මේ රට යම් අර්බුධයක සිටී නම් එයින් වැඩියෙන්ම බැට කන්නේද කාන්තාවයි. ලැබෙන සොච්චම් මුදලින් ගෙදර කළමනාකරණය කිරීමේ වගකීමද බොහෝ විට ඇය මතම පැටවෙයි. ලිංගික අතවර, අඩත්තේට්ටම්, කාර්යාලයේදී සහ වෙනත් තැන්වලදී සිඳුවන බලපෑම්, සමාජ සංස්කෘතික කාරණා නිසා විඳින්නට වන දුක් ගැහැට මේ සියල්ලම මැදින් මේ මජර ක්රමයෙන් බැටකන්නට නූතන කාන්තාවන්ට සිදු වී ඇත. තම දරුවන්ට මේ ක්රමය නිසා විදින්නට වෙන කරදර ප්රමාණය කාන්තාවන්ට නොතේරෙනවා විය නොහැක.
මේ සියල්ලම සළකා බලන විට මෙම ක්රමයට එරෙහිව මුලින්ම සටනට බැස යුත්තේද පෙරමුණ ගත යුත්තේද කාන්තාව යැයි කිවහොත් එහි වරදක් නැත. කණගාටුදායක කරුණ නම් මේ ක්රමය වෙනස් කරන්නට තැන තැන බිහිවෙන සංවිධානවල, පක්ෂවල කාන්තා නියෝජනය නැත්තටම නැති වීමය.
විකල්ප දහරාවක කාන්තාව
කාන්තා බලමුළු ඉතාම ශක්තිමත්ව සංවිධානය කරන දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට රට වෙනස් කරන විකල්ප දහරාව බවට පත්වීමට හැකියාව ඇත. එය හුදෙක් කාන්තාවන් අපට සිටිනවා යැයි කියන්නට අටවා ගත් කාන්තා පෙරමුණක් ලෙස නොව හරි හරියට ක්රමයේ වෙනසක් උදෙසා සටන් කළ හැකි ශක්තිමත් කාන්තා නියෝජනයක් සහ නායකත්වයක් සහිත පෙරමුණක් විය යුතුය.
කාන්තා දේශපාලනය විකල්ප දහරාවක් හරහා මතු වීම සඳහා ඉතා හොද පරිසරයක් මේ වන විට රටේ දේශපාලනය තුළ පවතී. වඩාත් හොදින් කාන්තාවන් සංවිධානය කළ හැකි අලුත් කාන්තා නායිකාවන් වෙතොත් ඉතිහාසයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තැබූ වාර්ථාව සහ සළකුණ පරයා ඉතිහාසගත වීමට එම කාන්තාවකට හෝ කාන්තාවන්ට හැකියාව ලැබෙණු ඇත. ඒ දශක හතක දේශපාලන ශාපය පරදා ජය මඟට විවර කළ රටක ඒ සටනේ ජයග්රාගී නායිකාවන් ලෙසිණි.


No comments:
Post a Comment