ලංකාව හරිම අපූරු රටකි. තරුණයෙක් ජනාධිපතිවරණයට පැමිණීම ව්යවස්ථානූකූලවම වළක්වා ඇත. මේ රටේ ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට නම් තරුණවිය ඉක්ම විය යුතුමය. එනම් වයස 35 පසු කළ යුතුය. ඒ තරුණ දේශපාලනයට මේ රටේ වැඩිහිටියන් දී ඇති තැනයි.පැරණි මැතිවරණ නීති තුළ අපේක්ෂක ලැයිස්තුවෙන් 25 %ක් තරුණයන්ට වෙන් කළ යුතු බවට නියමයක් තිබුණි . එසේ නොවන ලැයිස්තු ප්රතික්ෂේප විය. නමුත් නව නීති අනුව එම සීමාවද ඉවත්කර තිබේ. කණගාටුවට කරුණ නම් ඉහත කරුණු දෙකම ස්ථීර කර ගැනීම සඳහා කටයුතු කළ දේශපාලන පක්ෂවලට තරුණයන් යහමින් සහයෝගය දැක්වීමයි.
තරුණයන්ගේ අලුත් ලෝකය
ලෝකය වෙනස් කලේ තරුණයන්ය. හැමදාමත් තරුණයන් සිටියේ අලුත් මාවත් සොයමින්ය. සම්ප්රධායට එරෙහි වෙමින් හැමදාමත් පෙර පරම්පරා සමඟ ඔවුන් ගැටෙමින් සිටිනු දක්නට ලැබුණි. සංසාර විමුක්තිය උදෙසා රජකමත් පසෙකලා අභිනික්මන් කළේ සිද්ධාර්ථ නම් තරුණයාය. කුරුසයට තබා ඇන ගැහුවේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නැගූ ජීසස් නම් තරුණයාටය. මිනිසුන්ගේ විමුක්තිය උදෙසා සටන් කර ඝාතනයට ලක්කළ චේ ගුවේරා නම් තරුණයා අදටත් මිනිසුන්ගේ සිත් තුළ ජීවත් වේ. සම අයිතීන් උදෙසා මාටීන් ලූතර්කිං විසින් කළ සටනත් ඔහුත් ඉතිහාගත වී ඇත. වෙනස් වෙමිත් තිබෙන ලෝකයක වෙනස් කරන්නට වෙර දරන තරුණයන් මතින් ලෝක ඉතිහාසයම වරින් වර වෙනස් වේ. තරුණයන් නොමැති අරගලයක්, තරුණයන් නොමැති සටනක්, තරුණයන් නොමැති වෙනසක් ලෝකයේ නොමැත.ඉතිහාසය ලියවුනේද අනාගතය ලියවෙන්නේද එලෙසය.
තරුණයන්ගේ වගකීම
මේ 225ම එකයි නැතහොත් 226ම එකයි යනුවෙන් සමාජ ජාලා තුළ හඬක් තිබේ. මහල්ලන්ගේ දේශපාලනය නිමා කළ යුතු යැයි සමාජ ජාලා හී අදහස් ප්රකාශ කරමින් පවතී. මේ සියල්ල තුළින් අලුත් දේශපාලනයක් අලුත් බලාපොරොත්තුවක් මිනිසුන් සොයමින් සිටින බව පැහැදිලිය. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසාම අද ලෝකයේ රටවල් අතර පරතරය කුඩා වී ඇත. ලෝකයේ අලුත් ප්රවනතා අපට දැනගන්නට ලැබෙන්නේ විනාඩි ගණනක පරතරයකිනි. එසේත් නැත්නම් ඒ මොහොතේමය. ඉදිරියට යමින් තිබෙන ලෝකයක් තුළ පසුපසට ඇදෙමින් තිබෙන දේශයක් පිළිගන්නට තරුණයින් තවදුරටත් සූදානම් නොවනු ඇත. දේශපාලන වහල් බවෙන් මිදුන ජාතියක් උදෙසා හෙට දවසේ ප්රජාතන්ත්රීය අරගලයකට තරුණයන් එක්විය යුතුමය.
මෙම මජර ක්රමය වෙනස් කිරිම සඳහා විකල්ප ගොඩනැගීමේ ක්රියාවලියෙහි තරුණයන්ගේ වගකීමේ සීමාවක් නැත. වසර 70ක් පුරා එකම ක්රමයක් තට්ටු මාරු දේශපාලන ක්රියාවලියක් හරහා රට විනාශයට ගෙනගිය මෙම පරණ මජර දේශපාලන ක්රියාදරයන්ට හෝ ඔවුන්ගේ හීලෑකරන ලද අනුගාමිකයන්ට මේ රට වෙනස් කිරීමට නොහැක. එමෙන්ම මේ මජර ක්රමය හොදින් රස කරමින් තළුමරමින් සිට එකපාරටම නින්දෙන් නැගිට විකල්පය තුළ සිටගන්නට තැත් කරන, වෙනස් ගමනක් යන්නට අපට වැදි බණ දෙසන විශ්රාමික රාජ්ය නිලධාරින්ටද මේ වෙනස සිදුකළ නොහැක. එමනිසා එවැනි හිවල් පෝතකයින්ගෙන් විකල්පය බේරා ගැනීමටද තරුණයන්ට සිදුවනු ඇත.
මෙම මජර ක්රමය වෙනස් කිරීම උදෙසා සකස් වෙන ගමන් මාර්ගය ප්රජාතන්ත්රවාදී විය යුතුය. ක්රමය විසින් අප කොතෙක් පීඩාවට පත්කළත් ආවේගශීලීව පිළියම් සෙවීම නොකළ යුතුය. ප්රචන්ඩත්වයෙන් තොර ජාතික නිදහස් අරගලයක් වෙනුවෙන් මේ රටේ තාරුණ්ය දිශාගත උනහොත් ජයග්රහණය වළක්වන්නට කිසිවෙකුට නොහැකිවනු ඇත.
තාරුණ්යයේ ප්රවේශය
මේ වනවිට මෙම ක්රමය වෙනස් කිරීම සඳහා වන තරුණයන්ගේ ප්රවේශය සතුටුදායක නැත. එසේ වීමේ ගැටළුව අවබෝධ කරගත යුතුය. විසදුම් සොයාගත යුතුය. තරුණයන්ගේ අනන්යතා, මතවාද සහ අභිමානය රකින දේශපාලන ව්යාපාරයකට ඔවුන් වඩාත් සතුටු වනු ඇත. තාරුණ්යයේ නව අදහස් විකල්ප දේශපාලනයේ ඉහළින්ම ඔසවා තැබිය යුතු යැයි මම විශ්වාස කරමි. අපි වඩා පරිනතයින්ය. අපිට වෘත්තීය මට්ටමේ අත්දැකීම මෙපමණය හෝ අප ලැබූ උපාධි සහතික මෙපමණය යන්න විකල්පයට තවදුරටත් වලංගු නැත. ඒ නිසාම අප නායකත්වය ගතයුතුය හෝ අන් අය අපගේ අනුගාමිකයින් විය යුතුය යන්නද වලංගු නොවේ. තමන් පාගා දැමෙන විකල්පයකට තරුණයින් කිසිදා කැමති නොවනු ඇත.
මේ සිස්ටම් එකට අහුවුන කෙනෙක්ද නැද්ද යන වගත් මේ සිස්ටම් එකට තවදුරටත් අහු නොවී සිටීමේ හැකියාව කොච්චරක්ද යන වගත් ඉතිහාසයේ තමන් සිටින තැන සිට මේ සිස්ටම් එකට එරෙහිව වැඩ කළාද යන වගත්... ප්රධාන වශයෙන් විමසිය යුතු වේ. තරුණයන් අපට වටින්නේ එතනදීය.
මෙම විකල්ප වේශයෙන් සිටිනා ජෙය්ෂ්ඨ පුරවැසියන්ට මෙසේ යෝජනා කරමි. සැබෑ විකල්පය තම අතැති තරුණයන් බොහෝ ඇත. ඔවුන් සොයා ඔවුන් සමඟ වැඩ කරන්න. කිසිදා ඔවුන් අනුගාමිකයන් කරගැනීමට ඔබට නොහැකි වනු ඇත.
මම විකල්ප සොයන තරුණයන්ට මෙසේ යෝජනා කරමි. ඔබ ශක්තිමත්ය. ඔබට නැගී සිටිය හැක. කිසිදා අනුගාමියකයෙක් නොවන්න. සියල්ල සමඟ සමානව වැඩ කරන්න.

No comments:
Post a Comment