2015 ජනවාරි 8න් පසුව ඇති වූ දේශපාලන ක්රියාදාම තුළින් සමාජගත වූ අදහසක් වන්නේ ඕනෑම කෙනෙකුට රට පාලනය කළ හැකි බවයි. එමෙන්ම පුරවැසියා දේශපාලනයට කැඳවීම සඳහා අප ගෙන ගිය ප්රචාරාත්මක මතවාදවල එක් එක් කොටස් පමණක් කිය වූ පුද්ගලයන්ද ලබා ගනිමින් තිබෙන ප්රවේශය පිළිබඳවද දෙවරක් සිතිය යුතුය.
දේශපාලන පරිසරය සහ අලුත් මුහුණු
පවතින දේශපාලන පරිසරය නව දේශපාලන ප්රවාහයක් සඳහා කදිම අවස්ථාවක් බව මම මේ ලිපි පෙළින් වරින් වර මතු කර ඇත්තෙමි. එමෙන්ම අලුත් දේශපාලන පරම්පරාවක් (පවුලක් නොවේ) සඳහා ඉඩකඩක් ඇත. මේ පරිසරය තේරුම් ගැනීමට මහා ලොකු දේශපාලන දැනුමක් අවශ්ය නොවේ. මේ නිසාම විවිධ අපේක්ෂා සහිත විවිධ පුද්ගලයන් දේශපාලනයට පිවිසෙනු දක්නට හැකිය. මම එම කණ්ඩායම් විශාල ප්රමාණයක් සමඟ සාකච්ඡා කළ අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතී. මේ වන විටත් දෙතුන් දෙනාගේ කණ්ඩායම්වල සිට සිය දහස් ගණන් සාමාජිකයන් සිටින කණ්ඩායම් සිය ගණනක් විසිරව මෙම නව දේශපාලන පරිසරය මත තම තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවා ගැනීම සඳහා කටයුතු කරයි. මේ අතර නව දේශපාලන පක්ෂ කීපයක්ද දක්නට ලැබේ.
1818දී අපට වැරදුන තැන.
1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූ වසරයි. 1815 දී නිදහස අහිමි කර ගැනීමෙන් පසු වසර තුනක් ඇතුළත නැවත සංවිධානය වන්නට සිංහලයාට හැකි විය. 1818 වෙල්ලස්ස කැරැල්ල ඇතිවන්නේ නිදහස භුක්ති විදි සහ එයින් අනතුරුව යටත් වැසියන් ලෙස ජීවත් වීමේ ඉතා කටුක අත්දැකීමත් සමඟ එන නිදහස ලබා ගැනීමේ බලවත් උවමනාවද සමඟිනි. සටන දිනා ගත හැකියැයි පෙනන පරිසරයක් මත බොහෝ නිළමෙලාගේ ඊළඟ අදහස රජ වීමයි. ජයග්රාහී ලෙස දිනා ගත හැකි ජාතික විමුක්ති අරගලය මහා විනාශයකින් නතර වෙන්නේ එම බලලෝභී නිළමෙලාගේ ක්රියාකලාපය හේතුකොට ගෙනය.
සටන නිමා වෙන්නේ රොබට් බවුන්ඩ්රි ආණ්ඩුකාරවරයා විසින් දියත් කරන බරපතල මර්ධනය හමුවේ වසර 200කින්වත් ගොඩගන්න බැරි තරමේ විනාශයක් වෙල්ලස්සට ගෙන දෙමින්ය. එදා සටන ජය ගත්තේ නම් අද මේ රට ගොඩගන්නට බැරි සහ කිසිදා විසදගන්නට නොහැකි ප්රශ්න රැසක් අපට ඉතුරුවන්නේ නැත.පරාජය සටහන් වන්නේ එලෙසය. ජයග්රහණය එක දශමයකින් අහිමි උනත් පරාජය පරාජයමය. විනාශයේ සීමා නොමැත.
ඔක්කොම රජවරු
2020 ලියවෙන්නේද එළෙසිනි. සියල්ලෝම රජවරුන්ය. මිනිසුන් දහදෙනෙක් එක් තැනකට ගෙන එන්නට නොහැකි කෙනාගේ සිට සියල්ලෝම ජනාධිපතිවරුන්ය. ඔවුන් ඕනෑම සංධානයකට ඒකාබද්ධ පෙරමුණකට සූදානම්ය. ඇත්තේ කොන්දේසි දෙකකි. පළමුවැන්න තමාගේ නායකත්වය යටතේය. දෙවැන්න තම ප්රතිපත්ති අනෙක් අය පිළිගත යුතුය.
එය එසේ වීමට නොහැකි බව බහුතරයක් පවසන විට ( ජනාධිපතිවරණයට තම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන පක්ෂ සහ කණ්ඩායම් ) ඔවුන් එය පිළිගෙන සන්ධානගත වෙයි. ටික දිනකින් නැවත නායකත්ව අවශ්යතාවය එළියට එයි. සන්ධාන කඩාගෙන ඉවත් වෙයි. ඔවුන්ගේ කණ්ඩායම් දියාරු වෙනකොට තවත් පෙරමුණක් හොයාගෙන ඒ තුළට ඇතුලුවෙයි. ඉන් කීප දෙනෙක් ගලවාගෙන නැවත ස්වාධීනව සටන් කරන බව පවසයි. ජනතාවෙගේ බලාපොරොත්තු තම බලකාමීත්වයේ ක්රීඩාව මතින් වලපල්ලට යවයි.
වෙන්වී වැනසීමට තිත තැබිය යුතුය.
මමද ඇතුලුව මධ්යස්ථ මතධාරීන් කළ සාකච්ඡා සහ යෝජනා බිඳ වැටෙමින් තිබේ. ඕනෑම සාකච්ඡාවකට එකඟයි යන්න කියවුනද මෙම කණ්ඩායම් බහුතරයක අභ්යන්තර ප්රජාතන්ත්රවාදයවත් නැත. මෙසේ වෙන්වීමෙන් විකල්ප බලවේගයක් කිසිදා ගොඩනැගිය නොහැකි බව ඔවුන් සියලු දෙනා හොදාකාරවම දන්නා බව අප දන්නෙමු. විකල්පය අවධානකමට ලක් කිරීමට අනෙක් පාර්ශව කැමති නොවන නිසා තමන් හිතුවක්කාරව තනි ප්රවේශයක් ලබා ගතහොත් අවසාන මොහොතේ හෝ සියල්ල තමන් සමඟ එකතුවෙනවා යැයි යමෙකු සිතනවා විය හැක. නමුත් එය එසේ නොවේ. ඒ නිසා විසෙන් විස නැසීමේ පියවරකට මධ්යස්ථ මතධාරීන් ගමන් කළ යුතුව ඇත.
රැඩිකල් මතධාරීන් එකතු විය යුතුය.
මෙම බල අරගලයේ නොමැති රැඩිකල් මතධාරීන්ගේ සාමූහිකත්වයක් ඇති විය යුතුය. විකල්ප සාමූහිකත්වයද එවැන්නකි. නමුත් එය මීට වඩා පුළුල් සහ සංවිධානාත්මක ආකාරයෙන් ක්රියාත්මක විය යුතුය. සංකේතාත්මක විකල්ප අපේක්ෂකයෙක් සහ පක්ෂයක් ස්ථීර කර ගත යුතුය. අනතුරුව අපේක්ෂකයා පදනම් නොවන විකල්ප වැඩපිළිවෙල පදනම් වන ප්රචාරාත්මක ව්යාපාරයක් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව විශ්වාස කරමි. අවශ්ය වුවහොත් එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට ජනතාවට සහතියක්ද දිය යුතුය. 1948 දේශපාලන පරම්පරාව දේශපාලනිකව පරාජය කිරීමට පෙර විකල්ප කඳවුර බලලෝභීව බිද දමන්නන්ගෙන් බේරා ගත යුතුය. නැතහොත් විකල්පයක් බිහිවීම කෙසේ වෙතත් විකල්පය යන වචනයත් ජනතාවට එපා වනු ඇත.


No comments:
Post a Comment