2019/05/08


කලාව වූ කලි ජනතාවගේ මනස වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි අපූරු මෙවලමකි. වේදිකාව, සිනමාව, ගීතය, කවිය, සිතුවම ඇතුළු සියලුම කලා නිර්මාණ මිනිසාගේ මනස වෙනස් කිරීමට, නව මානයකින් දකින්නට හැකි ලෙස භාවිතා කළ හැක.

දේශපාලන වේදිකාවක හෝ මාධ්‍යයෙහි විකාශය වන දේශපාලන සංවාදයකදී හෝ පැය ගණන් කතා කරමින් සමාජගත කරන්නට උත්සහ කරන අදහසක් එක් ගී කණ්ඩයකින්, කුඩා කාටුනයකින් හෝ මනාව පෙළගස්වන ලද වීඩියෝ රූපරාමු පෙළකින් සමාජගත කළ හැක. කලාවේ සුන්දරත්වය වාරණයේ සීමාද අතික්‍රමණය කළ හැක. අවශ්‍ය වන්නේ වඩාත් නිර්මාණාත්මක ප්‍රවේශයක් පමණි.

නුතන කලාව සහ දේශපාලනය.

වර්ථමානයේ දේශපාලනිකව මිනිසාගේ සිතුවිලි පරාසය වැඩි කරලීමට කලාව ප්‍රබලව භාවිතා වන බවක් දක්නට නොලැබෙයි. කලාවේ සහ දේශපාලනයෙහි සම්බන්ධතාවය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කලාකරුවන් දේශපාලකයන්ගේ වේදිකාවලට ගොඩවීමෙනි. දේශපාලකයන් තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට කලාකරුවන්ව සිල්ලරට නොව තොග වශයෙන් පාවිච්චි කරයි.

එසේ හැරුණුකොට නූතන දේශපාලනයේ අර්බුධය කතා කිරීම සඳහා කලාවෙන් හොද සහයෝගයක් ලැබෙන්නේ නැත. බොහෝ කලාකරුවන් ප්‍රධාන කඳවුරු තුන හතරට බෙදී ඇති නිසා ඔවුන්ගේ අරමුණු දිව යන්නේ ඊළඟ මැතිවරණයේදී තම කඳවුරට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට දායක වීමය. ඒ මත දශක හතක දේශපාලන ශාපයෙහි යතාර්ථය ඔවුන්ට මඟ හැරී යයි. කලා නිර්මාණ තුළින් ඒවා මඟ හැරී යයි.

රූපවාහිනිය සහ ගුවන්විදුලිය

ජනතාවට යම් පණිවිඩයක් ගෙනයද්දී ශ්‍රව්‍ය දෘශ්‍යය මාධ්‍ය ඉතා ප්‍රබලව භාවිතා කළ හැක. ලෝකයේ ප්‍රබලතම සන්නිවේදන මාධ්‍ය එයයි. නමුත් පාලකයන්ගේ අතකොළු වූ රාජ්‍ය නාලිකා දෙකත්, මෙගා ටෙලි රැල්ලෙන් සහ රියලටි වැඩසටන් කලාවෙන් ඔද්දල් වූ පුද්ගලික නාලිකා ටිකත් ජනතාවගේ මනස පටු කරනවා විනා කරන අන් යමක් නැත. වෛරය, පළිගැනීම සහ පවුල ඇතුලේ සිඳුවන දේපල බෙදාගැනීම්, විවාහ ගැටළු වගේම කිසිදා කිසි විටකත් මේ මහපොළොව මත සිඳු විය නොහැකි සිඳුවීම් පෙළගස්වා ජනතාවගේ මනස විකෘතී කිරිමේ වැඩකොටස නම් මෙම මාධ්‍ය සියල්ල මනාවට කරගෙන යයි.

එෆ්. එම් නාලිකාවල තත්වයත් මෙයට දෙවෙනි නොවේ. උදේ සිට රෑවෙනකම් එකම රිද්මයක මල් සින්දු සමූහය එක දිගට වාදනය වෙයි. බස නසන නිවේදක රැළ එක දිගට කියවයි. අසන්නා විහිලුවට ගනී. සමස්ථ ගුවන් කාලයෙන් ප්‍රවෘත්ති සහ ඉතා කුඩා ගුවන් කාලයක් වෙන් කරන ගුණාත්මක වැඩසටහනක් කීපයක් හැරුණුකොට අන් සියල්ල මනසට අලුත් යමක් හිතන්නට හුරුකරන අලුත් දැණුම දෙන දෙයක් නැත.

වෙනසක් ඕනේ යැයි කියන සමාජයක විද්‍යුත් මාධ්‍යය භාවිතාව එයයි.

අනෙකුත් කලා මාධ්‍ය

සිනමාව කලා මාධ්‍යයක් හැටියට යම් පසුබෑමක් පෙන්වන්නේ බොහෝ කලෙක සිටය. කාම චිත්‍රපට රැල්ල, විකට චිත්‍රපට රැල්ල රජකතා රැල්ලෙන් පසු කලාවක් ලෙස යම් යම් ප්‍රසස්ථ නිර්මාණ හරහා සිනමාව නැඟී සිටින්නට උත්සහ දරයි. රට වෙනස් කරනවා වෙනුවට මුලින්ම සිනමාව වෙනස් විය යුතුව ඇත.

නවකතාව, සිතුවම් කලාව ඇතුලු අවශේෂ කලාවන්ට අප මේ ලිපියෙන් කතාකරන රටේ වෙනසක් කිරීමට දායක වීමේ සීමා පවතී. නමුත්, හැමදාමත් වේදිකා නාට්‍ය සතුටුදායක වැඩකොටසක් කරයි. එය ප්‍රමාණාත්මකව විශාල බලපෑමක් නොවන්නේ වේදිකා නාට්‍ය රසිකයින්ගේ සීමාසහිත බවයි.

විකල්ප කලාව සහ විකල්ප මාධ්‍ය

සමාජය වෙනස් කිරීම සඳහා පෙළගැසිය යුතු ප්‍රධානම මාධ්‍ය විය යුත්තේ සමාජ මාධ්‍යයි. කාටුන් චිත්‍ර, නිසඳැස්, කවි, කෙටිකතා, ගීත, කෙටි වීඩියෝ සහ සංවාද මේ සියල්ල සමාජ මාධ්‍ය තුළින් ප්‍රකාශ කළ හැක. දැනටමත් තරුණ නිර්මාණකරුවන් මේ හරහා වැඩකරමින් සිටී. ඔවුන්ගේ එකමුතුවක් ගොඩනඟා වඩාත් ක්‍රමානුකූල ලෙස ඔවුන් පෙළගස්වාගත හැකිනම් ප්‍රබල බලපෑමක් විකල්ප කතිකාවත ගෙන යාම සඳහා කළ හැකිය.

කාටුන්, සිතුවම්, කවි, නිසැඳැස්, ගීත, වීඩියෝ සහ සංවාද මේ සියල්ල විකල්ප කතිකාවත ගොඩනැඟීම සඳහා භාවිතා කළ හැකිය. විකල්ප කලාව සහ විකල්ප කලාකරුවන් යන අනන්‍යතා ඉහළට ගෙන ආ යුතුය. ඔවුන් ඇගයීමට වැඩපිළිවෙලක් සැකසිය යුතුය.දැනටමත් නිර්මාණය වී ඇති එවැනි නිර්මාණ එක් තැනකට ගෙන එන්නට කටයුතු කිරීමද විකල්ප කලාකරුවන් රැක ගැනීමට කටයුතු කිරීමද සිදුවිය යුත්තකි.

ක්‍රමයේ වෙනසක් සිඳුකිරීම ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් හෝ පාර්ලිමේන්තු බලය අත්පත් කර ගැනීමෙන් පමණක් සිදුකළ නොහැක. බහුතර ජන මනස එයට සූදානම් විය යුතුය. ඒ සඳහා කලාව අත්‍යවශ්‍ය සාධකයකි.

2019/05/02



1972දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම තුළින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල විය. අධිකරණයටවත් වග නොකියන ඒකාධිපති සහ බල සම්පන්න ධූරයක් ඇති විය. වසර 47කට පසු වෙනස්විය යුතු යැයි සැළකෙන මෙම ක්‍රමයේ ප්‍රධාන කරුණක් වන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයයි.

ජනතා මතය

විධායක ජනාධිපති ධූරය වෙනස් කළ යුතු යැයි ජනතා මතය වඩාත් ප්‍රභලව ගොඩනැඟෙන්නේ 88/89 භීෂණ යුගයත් සමඟය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විධායක ජනාධිපතිධූරය ඉවත් කරන බවට ලිඛිතව පොරොන්දු වූ අතර ජනතා විමුක්ති පෙරමුණ ඒ අනුව තම ජනාධිපති අපේක්ෂකයා තරඟයෙන් ඉවත් කර ගන්නා ලදී.

ඉන් අනතුරුව ඇගේ දෙවන ධූර කාලය සඳහා වන මැතිවරණ පොරොන්දුවල, මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු සහ දෙවන ධූර කාලය සඳහා වූ පොරොන්දුවල සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනවාරී 8 පොරොන්දුවලද විධායක ජනාධිපති ධූරය අහෝසී කිරීමට එකඟ වීම සිදුවුණි. ඒ අනුව වසර 25ක් පුරා ජනාධිපතිවරණ 5ක් පුරා ජයග්‍රහණය කළ අපේක්ෂකයන් තිදෙනාම විධායක ජනාධිපතිකම අහෝසී කිරිම වෙනුවෙන් පොරොන්දු දුන් අතර එය වෙනස් කිරීම සඳහා පැහැදිලි ජන වරමක් ලබා දීමට ශ්‍රී ලාංකික ඡන්ද දායකයා කටයුතු කරන ලදි.මෙම කරුණු ගැලපීමෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ ජනතා මතය වසර 25ක සිට නොවෙනස්ව වර්ධනය වෙමින් පවතින බවකි.

බලලෝභී දේශපාලකයන්

බලයට ඒමට පෙර එය වෙනස් කරන බවට පොරොන්දු දුන් සියල්ලන්ම බලය ලැබීමෙන් පසු බලලෝභීව එහි රැදී ඉන්නට කටයුතු කළහ. එපමණක් නොව විධායක ජනාධිපති ධූරය වෙනස් කරන බවට පොරොන්දු දුන් මහින්ද රාජපක්ෂ මහතාම ජනාධිපති ධූරය දැරීමේ දෙවරක් වූ උපරිම කාල සීමාව වෙනස් කිරීමද විශේෂත්වයකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දෙවන ධූර කාලයේ වසර 6ම ගත කිරීම සඳහා අධිකරණයට යාමද මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 6ම සම්පූර්ණ කාලය බලයේ රැදී සිටීම සඳහා අධිකරණයේ මතය විමසීමද යන කාරණා බැලීමෙන් පෙනෙන්නේ විධායක ජනාධිපති ධූරය සඳහා ඉන්න පුළුවන් උපරිම කාලය ලබාගන්නට මේ සියලු දෙනා කටයුතු කළ බවයි.

විධායක ජනාධිපති ක්‍රමය සහ ක්‍රමයේ වෙනස

මේ වන විට ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියවෙන බොහෝ අවස්ථාවල විධායක ජනාධිපති ධූරය වෙනස් විය යුතු බවත් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් රටේ නායකයා විය යුතු බවත් පැවසේ. මේ මජර ක්‍රමයේ මූලිකම කරුණක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. රට වෙනස් මාවතකට ගෙන යාම සඳහා වූ ක්‍රමයේ වෙනසක් සඳහා විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීම අනිවාර්ය කොන්දේසියකි. එය කිසිසේත් මඟ හැරිය නොහැක.

ක්‍රමය වෙනස් කළ යුතු යැයි පවසමින් විධායක ජනාධිපති ධූරය රැක ගත යුතු යැයි පැවසීම න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද විකෘතියකි. එවැනි මතවාදයක් කිසිවිටෙක විකල්පයක් නොවනවා මෙන්ම එවැනි මතවාදයක් සහිත කණ්ඩායමක්, සංවිධානයක් හෝ පක්ෂයක් විකල්පයක් ලෙස පිළිගත නොහැක. මක් නිසාද යත් විධායක ජනාධිපති ක්‍රමය යනු මෙම පවතින මජර ක්‍රමයේ සිරස වන බැවිනි. මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුත් විකල්පයක් නොවේ. එමෙන්ම පසුගිය වසර 25ක් පුරා මේ රටේ ගොඩනැගී ඇති විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතා විරෝධයට පිටුපා ගමන් කිරීමකි.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම

විකල්ප යනු ආදේශකයක් නොවේ. තියෙන එකේම වෙනත් මුහුණක්ද නොවේ. තියෙන ක්‍රමයේ ගැටළු අර්බුධ හඳුනාගෙන ඒවා නැවත ඇති නොවන සේ නව ක්‍රමය සකස් විය යුතුය. එය එක රැයින් සිඳු කළ නොහැක. සමහර විට දශක දෙකක් පමණ ඉදිරියට ක්‍රමානුකූලව එකින් එක වෙනස් කරමින් ගමන් කිරීමට සිඳු වනු ඇත. නමුත් මූලිකවම එම ගමනටත් බාධා වන මූලික මුල් උඳුරා දැමිය යුතුය. විධායක ජනාධිපති ක්‍රමය වූ කලි එහි මුලින්ම ගැලවිය යුතු මුදුන් මුල වේ. එය ගැලවීමෙන් පසු ඉතිරිය ක්‍රමානුකූලව සිඳු කර ගත හැක.

වසර 25ක් පුරා බහුතර ජනමතයක් ප්‍රතික්ෂේප කළ මජර විධායක ජනාධිපති ක්‍රමය රැක ගැනීම යනු විකල්පයක් නොවේ. එය ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් වැඩකරන විකල්ප කඳවුරට එරෙහිව වැඩ කරන ප්‍රතිගාමි වැඩපිළිවෙලකි.

චාමර නාකන්දල 

2019/04/08


ලෝක ඉතිහාසයේ කාන්තා දේශපාලනයේ නොමැකෙන සටහනක් තියන්නට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහි කරමිණි. එය ලෝක වාර්ථාවක් වූවා සේම ඇයගේ ධූර කාලය අවසන එක රුපියලක්වත් ණය නැති රටක් බාර දෙන්නට සමත් විය . ඒ කාන්තා දේශපාලනයේ අතීත සටහනක්ය. එදා මෙදා තුර බොහෝ කාන්තාවන් දේශපාලනයට ආ අතර කවදත් කාන්තා නියෝජනය පිරිමි නියෝජනයට වඩා අඩු වීම පෙනෙන්නට තිබුණි.


කාන්තාවන්ගේ ප්‍රවේශය

ලාංකීය දේශපාලනය තුළ කාන්තා ප්‍රවේශය සිද්ද වෙන ප්‍රධානතම ක්‍රම කිහිපයකි. ඉන් පළමුවැන්න තම ස්වාමියාගේ අභාවයෙන් හෝ ජීවතුන් අතර සිටිද්දිම ඔහුගේ දේශපාලන ආනුභාවයෙන් බිරිඳ දේශපාලනයට පිවිසීමයි. දෙවැන්න, දේශපාලකයාගේ දුවක ලෙස දේශපාලනයට පිවිසීමයි. දේශපාලකයාගේ අනියම් භාර්යාවද දේශපාලනයට ප්‍රවේශ කරවූ අවස්ථාද ප්‍රාදේශීය දේශපාලනයෙන් අසන්නට ලැබේ. නිළියක් ලෙස කටයුතු කිරීමද රූප රාජිනියක් වීමද ජාතික දේශපාලනය තුළට පැමිණීමට සුඳුසුකම් වූ අවස්ථාද ඇත. මේ සියල්ලටම එපිටින් තමන්ගේම අනන්‍යතාවයක් හදාගෙන ඉතාම සීරුවෙන් ඉදිරියට ආ කාන්තා චරිත ඉඳහිට දක්නට ලබේ.

වාමවාදි දේශපාලනයේ කාන්තා නියෝජනය.

වාමවාදි දේශපාලනයේ කාන්තා ප්‍රවේශය සිඳුවනුයේ කලින් දැක්වූ ආකාරයට නොවේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිඳු කරන ලද සන්නද්ධ කැරලි දෙකේදීද කාන්තා නියෝජනය කැපී පෙණුනි. වාමවාදී දේශපාලනය තුළ ස්වාධීනව නැඟෙන කාන්තා චරිත පෙනෙන්නට තිබුනත් එයද විශාල වශයෙන් නොවේ. ජාතික තලයේ වාමවාදි දේශපාලනයේ කාන්තා නියෝජනයෙහි බලවත් අඩුවක් පෙනී යයි. නමුත් එහි බිම් මට්ටමේ යම් කාන්තා නියෝජනයක් තිබේ.

ප්‍රධාන දහරාවේ කාන්තා පාක්ෂිකාවෝ

ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂවල බිම් මට්ටමේ යම් කාන්තා නියෝජනයක් දක්නට ඇත. මැතිවරණය සඳහා අපේක්ෂකත්වයට කාන්තාවන් දුලභ වුවත් පාක්ෂිකයන් ලෙස කාන්තාවන් සෑම අවස්ථාවකදීම දක්නට ලැබෙයි. පෙළපාලි, රැස්වීම් මේ සියල්ලම සඳහා යම් කාන්තා නියෝජනයක් එක් කිරීමට ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ සමත් වි තිබේ.

විකල්ප සහ සිවිල් සංවිධානවල දායකත්වය.

ප්‍රධාන ප්‍රවාහයට විකල්පයක් ලෙස හෝ ආදේශකයක් ලෙස ගොඩනැඟෙන කණ්ඩායම් සහ පක්ෂවල කාන්තා නියෝජනය ඉතාම දුර්වල මට්ටමක පවතී. විකල්ප සහ සිවිල් සංවිධානවල කාන්තා නියෝජනයද අතිශය දුර්වල මට්ටමක පවතී. සමහරක් සංවිධානවල කාන්තා නියෝජනයක් ඇත්තේම නැත.

වෙනසක් වෙනුවෙන් එක් නොවන කාන්තාවන්.

රටේ වැඩිම ප්‍රතිශතයක් සිටින්නේ කාන්තාවන්ය. මේ රට යම් අර්බුධයක සිටී නම් එයින් වැඩියෙන්ම බැට කන්නේද කාන්තාවයි. ලැබෙන සොච්චම් මුදලින් ගෙදර කළමනාකරණය කිරීමේ වගකීමද බොහෝ විට ඇය මතම පැටවෙයි. ලිංගික අතවර, අඩත්තේට්ටම්, කාර්යාලයේදී සහ වෙනත් තැන්වලදී සිඳුවන බලපෑම්, සමාජ සංස්කෘතික කාරණා නිසා විඳින්නට වන දුක් ගැහැට මේ සියල්ලම මැදින් මේ මජර ක්‍රමයෙන් බැටකන්නට නූතන කාන්තාවන්ට සිදු වී ඇත. තම දරුවන්ට මේ ක්‍රමය නිසා විදින්නට වෙන කරදර ප්‍රමාණය කාන්තාවන්ට නොතේරෙනවා විය නොහැක.

මේ සියල්ලම සළකා බලන විට මෙම ක්‍රමයට එරෙහිව මුලින්ම සටනට බැස යුත්තේද පෙරමුණ ගත යුත්තේද කාන්තාව යැයි කිවහොත් එහි වරදක් නැත. කණගාටුදායක කරුණ නම් මේ ක්‍රමය වෙනස් කරන්නට තැන තැන බිහිවෙන සංවිධානවල, පක්ෂවල කාන්තා නියෝජනය නැත්තටම නැති වීමය.

විකල්ප දහරාවක කාන්තාව

කාන්තා බලමුළු ඉතාම ශක්තිමත්ව සංවිධානය කරන දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට රට වෙනස් කරන විකල්ප දහරාව බවට පත්වීමට හැකියාව ඇත. එය හුදෙක් කාන්තාවන් අපට සිටිනවා යැයි කියන්නට අටවා ගත් කාන්තා පෙරමුණක් ලෙස නොව හරි හරියට ක්‍රමයේ වෙනසක් උදෙසා සටන් කළ හැකි ශක්තිමත් කාන්තා නියෝජනයක් සහ නායකත්වයක් සහිත පෙරමුණක් විය යුතුය.

කාන්තා දේශපාලනය විකල්ප දහරාවක් හරහා මතු වීම සඳහා ඉතා හොද පරිසරයක් මේ වන විට රටේ දේශපාලනය තුළ පවතී. වඩාත් හොදින් කාන්තාවන් සංවිධානය කළ හැකි අලුත් කාන්තා නායිකාවන් වෙතොත් ඉතිහාසයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තැබූ වාර්ථාව සහ සළකුණ පරයා ඉතිහාසගත වීමට එම කාන්තාවකට හෝ කාන්තාවන්ට හැකියාව ලැබෙණු ඇත. ඒ දශක හතක දේශපාලන ශාපය පරදා ජය මඟට විවර කළ රටක ඒ සටනේ ජයග්‍රාගී නායිකාවන් ලෙසිණි.

2019/04/01


දශක හතක සිට රට ආ දේශපාලන ගමන් මඟ පිළිබඳව බොහෝ විවේචන මතුව තිබේ. මේ ක්‍රමය වෙනස් විය යුතු යැයි කියන කතාව සෑම තැනකින්ම අසන්නට ලැබේ. මේ දශක හත රට කරපු පාලකයා සහ දේශපාලන පක්ෂ අසමත් බවට නිදර්ශනද ඇති තරම් තිබේ. සඟවාලිය නොහැකි ඇත්ත පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

දැනෙන ආර්ථික ප්‍රශ්න, සමාජ පීඩනය මත විරෝධය තැන් තැන්වලින් විවිධ මට්ටමෙන් නැඟෙන අතර ඒවායේ ක්‍රමානුකූලබවක් හෝ සැළසුම් සහගත බවක් නැත. එය එසේමය. පීඩනය මත පීඩිතයා නැගිටින්නේ එසේය. සමාජය පුපුරන්නට ගත් විටෙක සැමවිටම එය සැළසුම් සහගත මධ්‍යගත සැළසුම් ඒකකයක, සංවිධානයක, පක්ෂයක සැළසුමකින් තොරවම පිපිරෙන්නට ගනී.

අලුත් ඒකාරාශීවීම්

පීඩනය සමස්ථ සමාජයටම දැණුනත් එයට එරෙහිව නැගිටින්නේ සුළුතරයකි. නැගිටීමේ ආරම්භය ගන්නේ ඊටත් වඩා සුළුතරයකි. නමුත්, සමාජයක් මුදවාගණු පිණිස පුරෝගාමී මෙහෙවරක් ඔවුන් ඉටු කරනු ලබයි. මේ වන විටත් සිවිල් සංවිධාන, වෘත්තිය සංවිධාන හෝ වෙනස් විවිධ සංවිධාන ලෙස පුරවැසි ඒකරාශීවීම් සිඳුවෙමින් පවතී. සමාජ ජාලාහී විවිධ ක්‍රියාකාරකම්, කණ්ඩායම් ක්‍රියාකාරකම ලෙසද තනි පුද්ගල ක්‍රියාකාරකම් ලෙසද ගොඩනැඟෙමින් තිබේ. සමස්ථය සිඳුවන්නේ ක්‍රමයට එරෙහිවය. ඉතා නිවැරදි දැක්මක් සහිත කණ්ඩායම් තිබුණද බහුතරයක් ඉබාගාතේ සටන් කරමින් පවතී.

මෙම ක්‍රියාවලියේ කිසිඳු අස්වාභාවික බවක් නැත. දශක ගණනාවක් දේශපාලනිකව නිදි වැදී සිටි ජනතාවක් දේශපාලනය කරන්නට පටන් ගෙන තිබේ. ඔවුනොවුන් තම තමන්ගේ දැණුම හැකියාව මත තම තමන්ට හිතෙන තැනින් පටන් ගෙන තිබේ. සමාජ ජාලා තුළින් තමන්ට හමුවෙන එකා දෙන්නාට කොකු ගසමින් කුඩා කුඩා කණ්ඩායම් බිහිකර ගනිමින් සිටී.

ආධුනික බව

දශක ගණනක අත්දැකීම් ඇති මජර දේශාපාලකයා , සංවිධානාත්මක පක්ෂ සහ කණ්ඩායම් පරදවනු පිණිස සටනට බසිමින් තිබෙන බහුතරය දේශපාලනයට ආධුනික වූවෝ වෙති. ක්‍රමයට එරෙහිව සටන් කළත් බොහෝ දෙනෙක්ගේ දේශපාලන කියවිමේ පරාසය ඉතාම අඩු මට්ටමක පවතී. ප්‍රාදේශීය සභාවක්වත් තරඟ නොකල නව පක්ෂ, මාස ගණනකින් පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා දිනන බවට සිහින දකිමින් සිටී. ප්‍රධාන දහරාව සතු මිලියන හතර පහේ ස්ථාවර ඡන්ද පදනම ඉතාම පහසුවෙන් බිද දැමිය හැකි බවට කෙරෙන තක්සේරුවද ඇතුළුව ආධුනික බව හේතුවෙන් ගොඩනැඟුන ෆැන්ටසි රාශියක්ද ඔවුන් සතුය. මේ නිසාම කුඩා කණ්ඩායම් සිය ගණනක් විසිරව වැඩ කරන අයුරු දක්නට තිබේ.

ප්‍රතිපත්තිමය වෙනස්කම්

ක්‍රමය වෙනස් කිරීම මූලික කර ගත්තත් බිහිකළ යුතු නව ක්‍රමය පිළිබඳව වෙනස් මත මෙම කණ්ඩායම් තුළ දක්නට ලැබේ. ලිබරල්වාදී, වාමවාදී සහ ජාතිකවාදී මෙන්ම ඒ ඒවායේ වෙනස්කම් සහිතවද විවිධ මතවාද සහිත කණ්ඩායම් සකස් වී ඇත. ක්‍රමයේ ගැටළුව විග්‍රහ කරන්නේද විසඳුම් නිර්මාණය කරගන්නේද එකිනෙකට වෙනස් මතවාද ගණනාවකිනි. එය ස්භාවිකය. සමාජයක් කිසි විටෙක එකම ආකාරයට නොසිතයි. නමුත්, ගැටළුව වන්නේ මේ සියල්ල සළකා බලමින් කාටත් එකඟ විය හැකි පොදු ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් සකසා ගැනීමය. මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම් ලිහා ගණු පිණිස මෙම කණ්ඩායම් අතරේ පොදු කතිකාවක් ගොඩ නැඟීම කාලීන අවශ්‍යතාවයකි.

බල අරගල

මේ මජර ක්‍රමය නිමා කිරීම සඳහා වන දේශපාලන හිඬැස පිරවීම පිණිස ගොඩනැඟුන පක්ෂ සහ කණ්ඩායම් අතර දැවැන්ත සීතල බල අරගලයක්ද ඇතිවී ඇත. තවමත් එකිනෙකාට මඩ ගසා ගනිමින් මතුපිට ගැටුමක් පෙනෙන්නට නොතිබුනත් සීතල බල අරගලය ක්‍රියාත්මක වෙමින් පවතී. ක්‍රමය වෙනස් කිරීම සඳහා වන ඒකරාශීවීම් කිහිපයක් දක්නට ලැබුණත් ඒවායේ සාර්ථකත්වය ලබාගන්නට නොහැකිවුනේ මෙම බල අරගල නිසාය.

ඒකාබද්ධ වැඩපිළිවෙලක්

මෙම කණ්ඩායම්, පක්ෂ සහ පුද්ගලයන් ඒකරාශී කර ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා ගැනීම අනිවාර්ය කොන්දේසියකි. එසේ නොමැතිව විකල්පයක් ගෙන ආ නොහැක. එසේ කිරීම උදෙසා බල අරගල අවම කිරීමද පොදු ප්‍රතිපත්තියකට යාම උදෙසා ප්‍රතිපත්තිමය කැප කිරීම්ද අවශ්‍යය. වෙන් වෙන්ව කරන සටන එක් තැනකට ගොනු කිරීමෙන් ඉතා විශාල ජනතා බලවේගයක් හදා ගැනීමට මාවත සැකසෙයි. පැහැදිලි විකල්පයක් බලාපොරොත්තුවෙන් සිටින පුරවැසියා ඒ සමඟම නැගී සිටිනු ඇත. මාගේ කියවීමට අනුව විසිරී තිබෙන ශක්තිය ඒකරාශී වුවහොත් ඉතා දැවැන්ත බලවේගයක් ඉස්මතු වනු ඇත.

විකල්ප සංවිධාන සාමූහිකත්වය

සිවිල් පුරවැසි සංවිධාන එකතු කරමින් විකල්ප සංවිධාන සාමූහිකත්වය බිහි කරන්නේ විකල්ප දේශපාලන ව්‍යාපාරය සතු අඩුපාඩු, ගැටළු ගණනාවක් විසදා ගනිමින් විකල්ප මාවත ගොඩනැඟීම උදෙසාය. ක්‍රේන්ද්‍රගත නායකත්වයක් නොමැතිව වැඩ කිරීමේ හැකියාවත් ප්‍රතිපත්තිමය කැපකිරීමත් භූමියේ වැඩ කිරීමේ හැකියාවත් මේ තුළින් මතුකර දෙන්නට හැකිවී ඇත. එකතු වී වැඩක් කරන්නට නොහැකිය යන මානසිකත්වය මුළුමනින්ම බිද හෙලන්නට සමත් සාමූහිකත්වයක් දැනටමත් ඇති වී තිබේ

2019/03/25


විකල්ප දේශපාලනය උදෙසා සමාජ මාධ්‍ය භාවිතය අනිවාර්ය කොන්දේසියකි. විකල්ප දේශපාලනය සඳහා පමණක් නොව දේශපාලනය, කලාව, වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු සියලු දේ සඳහා සමාජ මාධ්‍ය අවශ්‍ය වී ඇත. ජනමාධ්‍ය පවා අද වනවිට සමාජ මාධ්‍යයෙහි පිහිට පතයි. නමුත් විකල්ප දේශපාලනය උදෙසා සමාජ මාධ්‍ය බලපෑම වෙනස් වේ. සමාජ මාධ්‍ය ගැන කතා කිරීමට ප්‍රථම ජනමාධ්‍ය පිළිබඳව යම් සඳහනක් කළ යුතුමය.

ජන මාධ්‍යයෙහි හැසිරීම
මෙහිදී විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය අතරද හැසිරීමේ වෙනස්කම් දක්නට ලැබෙයි. ලංකාවේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය කිහිපය දේශපාලන නායකයන් හෝ පක්ෂ කිහිපයක් වෙනුවෙන් තම න්‍යායපත්‍ර සකස් කර ඇති ආකාරය බැලූ බැල්මට පෙනෙන අතර එය සමාජයේද ප්‍රසිද්ධ කාරණාවකි. අනෙක් කිහිපය රාජ්‍ය නාලිකා වේ. මේ මජර ක්‍රමය තුළ යම් යම් ප්‍රමාණවලට ඔවුන් හසුව තිබේ. වෙළෙඳ දැන්වීම්, රාජ්‍ය ආයතන සහයෝගය ලබාගැනීම් මෙන්ම හිමිකාරීත්වයේ පෞද්ගලික දේශපාලන මැදිහත්වීම මත ක්‍රමයේ දැවැන්ත වෙනසක් සඳහා විකල්ප බලවේගයකට ඔවුන් දෙන කාල අවකාශය පිළිබඳව බලාපොරොත්තු තැබිය හැක්කේ ඉතාම අල්ප වශයෙනි.

මුද්‍රිත මාධ්‍ය පිළිබඳව විද්‍යුත් මාධ්‍යට වඩා යම් පමණකට බලාපොරොත්තු තැබිය හැකි මුත් එය ප්‍රධාන දහරාවේ දේශපාලන කඳවුරුවලට දෙන ඉඩ කඩ විකල්ප දේශපාලන ව්‍යාපාරයකට ලබා නොදෙන බව විශ්වාසය.

සමාජ මාධ්‍ය භාවිතය
ජන මාධ්‍යවලට සාපේක්ෂව සමාජ මාධ්‍යවල ඇති අදහස් භාවිත කිරීමේ නිදහස, වේගවත් බව, අසීමිත ඉඩ, ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ආදී කරුණු නිසා ජනමාධ්‍ය අභිභවා සමාජ මාධ්‍ය ඉදිරියට ගොස් ඇත. දැනටමත් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 6 ඉක්මවා සිටින බව වාර්ථාවලින් දැක්වෙයි. යම්කිසි බලපෑමක් කිරීමට මෙම ගණන ප්‍රමාණවත්ය.

නමුත් සාම්ප්‍රධායික දේශපාලන පක්ෂ, ඔවුන්ගේ අනුගාමිකයන්ද තම මතය ගෙනයෑම සඳහා සමාජ මාධ්‍ය ඉතා තරගකාරී අන්දමින් භාවිත කරයි. ඔවුන් සතුව තිබෙන සම්පත් රාජ්‍ය අනුග්‍රහය මතින් සිදු කරන බලපෑම සුළුපටු නොවේ. අපේම බදු මුදලින් නඩත්තු වන අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ඒකක සමාජ මාධ්‍ය ප්‍රචාරණය සඳහා වැඩ කරයි. නමුත් නිර්මාණාත්මක බව, සාමූහික වැඩ, ජාලගත කිරීම් හරහා වැඩ කිරීම වැනි කාරණා මත අලුත් කණ්ඩායමකට වුවද හොඳ තරගයක් දීමට හැකියාවද ඇත.

අභියෝගය ජය ගත්තවුන්
සමාජ මාධ්‍ය අභියෝගය ජයගත්ත බොහෝ ස්වාධීන පුද්ගලයන් දැනටමත් සිටී. ඉතා අවම සම්පත් භාවිත කරමින් ඔවුන් සමාජ මාධ්‍ය ආරම්භ කළ අතර ෆේස්බුක් තුළ ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් භාවිත කරමින්ද වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකා භාවිත කරමින්ද ඔවුන් මේ ක්‍රමයේ බොහෝ තැන්, සිදුවීම් විවේචනය කරමින් යම් පරාසයක වැඩ කරයි. මොවුන් බොහෝ දෙනෙක්ගේ ආරම්භක බලාපොරොත්තු රට වෙනස් කිරීමේ සටන හා බද්ධව තිබුණි.

අලුත් ක්‍රියාකරුවන්ද විකිණෙයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටද අත් වූ එක් කනගාටුදායක ඉරණමක් වන්නේ ඔවුන් ඔවුන්ගේ ෆේස්බුක් පිටු සමඟින්, වෙබ් අඩවි සහ යූටියුබ් චැනල්ද සමඟින් විකිණීමයි. මජර දේශපාලන ප්‍රවාහ සහ ඒවායේ ඒජන්තයන් යහමින් මුදල් වියදම් කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ද මිලට ගනිමින් සිටී. මේවා සියල්ල විකල්ප වෙනුවෙන් නොව විකල්ප යටපත් කිරීම සඳහා භාවිත වීමට නියමිතව ඇත.

තවමත් ඇති අවස්ථා
සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම වෙනස් වේ. ස්වාධීනත්වය ගිලිගී යන පිටු, වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකාවලින් ජනතාව ක්‍රමයෙන් ඈත් වේ. ඒ නිසා නව වෙබ් අඩවි, ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා සඳහා ඇති තරම් අවස්ථා ඇත. කිසිවකු කිසිදා නොකළ නව නිර්මාණාත්මක දේ තුළින් අලුත් ප්‍රවණතා ඇති කළ හැක. විකල්ප දේශපාලන ව්‍යාපාරයක් වෙතොත් තමන් සඳහාම වන සමාජ මාධ්‍ය නාලිකා බිහිකර පවත්වාගෙන යෑම වඩාත් හිතකර වේ.

මා මෙහිදී සඳහන් කරන්නේ පුරවැසි සංවිධාන විසින් පවත්වාගෙන යන ඔවුන්ගේ නිල පිටු සහ වෙබ් අඩවි පිළිබඳවම නොවේ. විකල්ප දේශපාලන දහරාව විසින් පවත්වාගෙන යන පුවත් වෙබ් අඩවි, විනෝදාත්මක හෝ දේශපාලන ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා වෙනම අනන්‍යතා යටතේ ස්වාධීනව පවත්වාගෙන යා යුතුය. එය අනාගතයේ යම් දිනෙක පවතින වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු විකල්ප දහරාව වර්ජනය කළහොත් පිහිටට ගත හැකි ආරක්ෂණයකි.

විකල්පය සොයා යන ගමනේදී විකල්ප මාධ්‍ය නොහොත් සමාජ මාධ්‍ය භාවිතය ඉතාම වැදගත් වේ. එහිදී අප සතුව ඇති සියලු විකල්ප භාවිතය මේ මොහොතේ කතාකළ නොහැක. නමුදු විකල්පය දිනවන මොහොතේ ඒ සියල්ල භාවිතයට ගැණෙනු ඇත.

Instagram

චාමර නාකන්දල | Designed by Oddthemes | Distributed by Gooyaabi